ශ්‍රී ලංකා හොකී කණ්ඩායම AHF කුසලානයේ අවසන් පූර්ව වටයට

270

2022 පිරිමි ආසියානු හොකී සම්මේලන කුසලානයේ (AHF) තමන් සහභාගී වුනු තෙවැනි තරගයත් ජය ගන්නට ශ්‍රී ලංකා හොකී කණ්ඩායම සමත්ව තිබෙනවා. ඔවුන් හමුවේ පරාජයට පත්වුනේ කසකස්තාන කණ්ඩායමයි.

තරගය අද (15) ඉන්දුනීසියාවේ ජකර්තා නුවර GBK හොකී ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. ආසියානු හොකී සම්මේලන කුසලානයේ ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගී වූ තරග 3 ම ජයගෙන තිබීම විශේෂත්වයක්.

තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වුනේ ගෝල 4-0ක් ලෙසයි. ධම්මික රණසිංහ ගෝල දෙකක් වාර්තා කරන විට ඉෂංක දොරණෑගල සහ සුරේෂ් රත්නායක එක් ගෝලය බැගින් රැස් කරන්නට සමත් වුනා. ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක තරිඳු හේන්දෙණිය මේ තරගයේ දී සුපිරි දස්කම් දක්වන්නට සමත් වුනා.

මේ සතිය මුල දී ශ්‍රී ලංකාව ගෝල 5-0ක් ලෙස උස්බෙකිස්තානය පරාජය කළ අතර ගෝල 2-6ක් ලෙස ඔවුන් තායිලන්තය ද පරාජය කළා. කසකස්තාන තරගය ජය ගැනීමත් සමඟම ශ්‍රී ලංකාව ආසියානු හොකී සම්මේලන කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් වුනා. ඒ, A කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගනිමිනුයි. ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් පූර්ව තරගය මාර්තු 19 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සමඟ අවසන් පූර්ව තරගය ක්‍රීඩා කරන කණ්ඩායම තවමත් තීරණය වී නොමැති නමුත්, B කාණ්ඩයේ කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගය ක්‍රීඩා කිරීමට නියමිත අතර ඕමානය, බංග්ලාදේශය, ඉරානය, ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව B කාණ්ඩයේ ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම්.

අවසන් AHF කුසලාන තරගාවලි 5 දී ම ශ්‍රී ලංකාවට කුසලානය ජයග්‍රහණය කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අවසන් වරට 2016 වසරේ දී ඔවුන් ක්‍රීඩා කළ තරගාවලියේ දී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පිවිසුනත්, ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ ගෝල 3-0ක් ලෙස පරාජය වුනා.

2022 ආසියානු කුසලානය සඳහා ද මෙම තරගාවලිය තේරීම් තරගාවලියක් ලෙස සැලකෙනවා. AHF කුසලානයේ හොඳම කණ්ඩායම් තුන සමඟ ඉන්දියාව, ජපානය, කොරියාව, මලයාසියාව සමඟ ආසියානු කුසලානය ක්‍රීඩා කිරීමට නියමිතයි. ආසියානු කුසලානයේ හොඳම කණ්ඩායම් 4, 2023 හොකී ලෝක කුසලානයට සුදුසුකම් ලබනවා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<