ඇතුගල්පුර සටනේ හස්තීන්ගේ සූදානම

215

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර 36 වැනි වරටත් පැවැත්වෙන ඇතුගල්පුර සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 22 සහ 23 දෙදින කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

සුලෝහිත සංග්‍රාමයේ එක්දින තරග ජය නාලන්දාවට

45 වැනි වරටත් ක්‍රියාත්මක වූ සුලෝහිත සංග්‍රාමයේ සීමිත පන්දුවාර ක්‍රිකට් සටනින් ජය ලබන්නට අද

මෙම තරගමාලාවේ තරග 5-0ක් ලෙස ඉදිරියෙන් සිටිමින් මලියදේව විද්‍යාලය මෙවර ද තරගයට පිවිසීම සාන්ත අනාවරුන්ට හිසරදයක් බවට පත්ව තිබීම සැකයක් නැත. එසේ වූව ද මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී දෙපිළේ ම ක්‍රීඩකයෝ කරට කර දක්ෂතා දක්වා තිබීම මෙවර තරගයට වැඩි තරගකාරීත්වයක එක්කරනු ඇතැයි විශ්වාස කළ හැකි ය.

පස්වැනි වසරේ වර්ණලාභී කවීන් බණ්ඩාර මලියදේව කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර සිව්වැනි වසරේ වර්ණලාභී කවිඳු රණසිංහ සාන්ත ආනා විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් වීම හේතුවෙන් කණ්ඩායම් දෙකේම වැඩි වගකීම් ඔවුන් වෙත පැවරී ඇත.

මලියදේව කණ්ඩායම ඇතුගල්පුර සටනට පිවිසෙන්නේ මෙවර පාසල් ක්‍රිකට් වාරයේ දී තරග දෙකක් ජයග්‍රහණය කරමිනි. නායක කවීන් බණ්ඩාර කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 126ක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ දී ලකුණු 800 සීමාවට ළඟා වෙමින් ද, උපනායක සුපුන් සුමනරත්න ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 175ක් වාර්තා කරමින් මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී ලකුණු 1040 වාර්තා කරගනිමින් වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩකයන් ලෙසින් ශාන්ත ආනාවරුන් එරෙහිව පිටියට පිවිසීමට නියමිත ය.

ශ්‍රී ලංකා 19න් පහළ යොවුන් සංචිතයේ ක්‍රීඩකයෙක් වන කඩුලු රකින  මුදිත ප්‍රේමදාස ද පිතිකරුවෙක් ලෙසින් විශ්වාසය දිනා ඇති ක්‍රීඩකයෙකි. ඔහු මේ වන විට ලකුණු 980ක් රැස්කරගෙන සිටී. පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් ම පසු වෙන්නේ මධුරංග නවීන් ය. ඔහු නිමා වූ තරගවාරයේ දී කඩුලු 60ක් ලබාගෙන සිටී.

සාන්ත ආනා කණ්ඩායමේ නායක කවිඳු රණසිංහ මෙවර පාසල් ක්‍රිකට් වාරයේ දී අර්ධ ශතක තුනක් ද සමඟ ලකුණු 689ක් ද, වමතින් පා දඟපන්දු යවමින් කඩුලු 32ක් ද ලබා මෙවර ඇතුගල්පුර සටනට සහභාගී වේ. උපනායක ලලිත් වර්ණකුලසූරිය සහ ක්‍රිෂාන්ත ජයතිලක ද ලකුණු500 කඩඉම්වලට ළඟා වී ඇතුගල්පුර සටන වර්ණවත් කිරීමට බලා සිටිති. ඊට අමතරව සාන්ත ආනා කණ්ඩායම වෙනුවෙන් මයාස් මුසමිමිල් සහ පසිඳු තෙන්නකෝන් ද පසුගිය පාසල් ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා දක්වමින් කණ්ඩායමේ විශ්වාසය දිනා සිටිති.

1958 දී ආරම්භ වූ ඇතුගල්පුර සටන් තරග ඉතිහාසයේ හොඳම ඉනිමේ හිමිකරු ලෙසින් සටහන්ව ඇත්තේ මලියදේව විද්‍යාලයේ සුදර්ශන ගුරුගේ 1980 වසරේ දී නොදැවී ලබා ගත් ලකුණු 156යි. ඉනිමක හොඳම පන්දු යැවීම ද මලියදේව විද්‍යාලය සතු අතර ඒ දමිත් ගුණතිලක 2001 වසරේ දී ලකුණු 26කට ලබා ගත් කඩුලු 6 ඉතිහාස ගත ව ඇත. කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු වාර්තාව සාන්ත ආනාවරුන් සතු වන්නේ ය. ඒ කඩුලු 7කට 1999 දී ලබා ගත් ලකුණු 297යි. අඩුම වාර්තාගත ලකුණු ද ඔවුන් සතුවන අතර ඒ 1960 වර්ෂයේ රැස් කරන ලද ලකුණු 40යි.

ඇතුගල්පුර සටනින් පන්නරය වී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ද මේ සුවිශේෂී අවස්ථාවේ සිහිපත් කළ යුතු වේ. මලියදේව විද්‍යාලය වෙනුවෙන් රංගන හේරත්, රංජිත් මදුරසිංහ, එරික් උපශාන්ත සහ ජීවන්ත කුලතුංග ද සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් ලංකා ද සිල්වා ඒ අතර වෙති.

මලියදේව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම

කවීන් බණ්ඩාර (නායක), සුපුන් සුමනරත්න (උපනායක), මුදිත ප්‍රේමදාස, නිසංජය හෙට්ටිආරච්චි, චාලුක අතපත්තු, බ්‍රයන් කරුණානායක, විදත් බටේපොල, මධුරංග නවීන්, පසිඳු තෙන්නකෝන්, ගයන්ත වික්‍රමාරච්චි, දිනූක ඩිල්ශාන්, ඉෂාර ඔෂාන් මුණසිංහ, නිමේෂ් චතුරංග, අමේෂ් තෙන්නකෝන්, කලිඳු රුක්මල්, නිකිල ධර්මදාස, මනීෂ වීරසිංහ සහ ඕෂධ ජයවික්‍රම

ශාන්ත ආනා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම

කවිඳු රණසිංහ (නායක), ලලිත් වර්ණකුලසූරිය (උපනායක), ක්‍රිෂාන්ත ජයතිලක, මයාස් මුසමිමිල්, කවිදු ඒකනායක, සුලක්ෂණ මධුසිත්, හිරූෂ ද සිල්වා, දමිත කුමාරගේ, අහමඩ් ෂාෆි, මුයිස් රෆීල්, පසිදු තෙන්නකෝන්, අසිත පෙරේරා, පුමුදුෂාන් සදීරේ, ත්‍රිමල්ෂ සිල්වා, මනාන් මුසමිමිල්, කුසල් ජයවර්ධන, පිවිතු ප්‍රනාන්දු, කලිඳු විජේසිංහ, නිපුණ කුමාර සහ කණිෂ්ක සුබසිංහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<