රාජකීයයන් සහ තෝමස්වරුන් “නිල”ට ගැටෙන සටන

145th Battle of the Blues

107

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර මහාමාන්‍ය ඩී. එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන “නිල් මහා සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 7, 8 සහ 9 යන තුන් දින කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වේ.

1879 වසරේ දී කොළඹ ගාලු මුවරඳ ක්‍රීඩාංගණයෙන් ඇරඹි මෙම තරගය එතැන් සිට නොකඩවා පවත්වාගෙන යෑම විශේෂත්වයක් වන අතර එය මෙරට පැරණිත ම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ද වේ.

මෙම තරගය ලෝක ඉතිහාසයට එක් ව ඇති වාර්ෂික මහා ක්‍රිකට් තරග අතර දෙවැනි වන්නේ ඔස්ට්‍රේලියාවේ, Adelaide හී St. Peters විද්‍යාලය සහ Prince Alfred විද්‍යාලය අතර පැවැත්වෙන මහා තරගයට පමණයි. එම තරග ආරම්භ කර ඇත්තේ 1878 වසරේදීයි.

නිල් මහා සටන් ඉතිහාසය තුළ නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී. එස්. සේනානායක මහතා සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ද සහ ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් ද සහභාගී වී තිබීම විශේෂත්වයක්.

එමෙන් ම දේශපාලන පිටියේ මෙන් ම ක්‍රිකට් පිටියේ දී ද නම් දැරූ බොහෝ දෙනෙක් මේ නිල් මහා සටහන් ඉතිහාසය වර්ණවත් කර තිබේ. ඒ අතුරින් ශ්‍රීමත් ජෝන් කොතලාවල, රංජන් මඩුගල්ලේ, අසන්තා ද මෙල්, ජෙහාන් මුබාරක්, කිත්රුවන් විතානගේ, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ, ලසිත් ඇඹුල්දෙණිය සහ චාමික කරුණාරත්න වැන්නෝ රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් ද සහ ඩඩ්ලි සේනානායක, මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, බ්‍රැඩ්මන් වීරකෝන්, දුලිප් මෙන්ඩිස්, ගයි ද අල්විස්, සාලිය අහංගම, කෞෂික් අමලීන්, කපිල විජේගුණවර්ධන, ජීවන් මෙන්ඩිස් සහ කෞෂාල් සිල්වා වැන්නෝ සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ද මෙම ඉතිහාසය වර්ණවත් කර තිබෙනවා.

මෙවර මෙම තරගය පැවැත්වෙන් නේ 145 වැනි වරටයි. මේ දක්වා පැවැති තරග අතුරින් රාජකීය විද්‍යාලය 36 වතාවක් ද සහ සාන්ත තෝමස් විද්‍යාලය 35 වතාවක් ද ජයග්‍රහණ වාර්තා කරගෙන සිටිනවා.

එම ඉතිහාසයේ ආසන්නත ම ජයග්‍රාහකයන් වන්නේ රාජකීය විද්‍යාලයයි. ඔවුන් පසුගිය වසරේ දී දසිස් මංචනායකගේ නායකත්වයෙන් පිටියට පිවිස ලක් ලකුණු 181ක ජයග්‍රහණයත් සමඟින් ඉතිහාසයේ වැඩිම ජයග්‍රාහකයන් ලෙසින් ඉහළට පැමිණීමට සමත් වූවා. සාන්ත තෝමස් විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණයක් ලබා ඇත්තේ 2018 වසරේ දී සිතාර හපුහින්නගේ නායකත්වය යටතේයි.

මෙවර තරගයේ දී රාජකීය විද්‍යාලය මෙහෙයවීමේ වගකිම සතුව තිබෙන්නේ, ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමේ ද නායකත්වයේ කටයුතු කළ සිනෙත් ජයවර්ධන වෙතයි. සාන්ත තෝමස් විද්‍යාලය මෙහෙයවනු ලබන්නේ මහිත් පෙරේරා විසිනුයි.

දෙවිදුහල් අතර 47 වැනි වරටත් පැවැත්වෙන Mustang’s කුසලාන එක්දින සිමීත පන්දුවාර ක්‍රිකට් තරගය මාර්තු 16 වැනිදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

රාජකීය විද්‍යාලය

රාජකීය නායක සිනෙත් ජයවර්ධනට තම කණ්ඩායම වෙනුවෙන් මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේ දී සහභාගී වෙන්නට හැකි වෙන්නේ තරග 6කට පමණයි. ඒ ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම සමඟින් දිගින් දිගට ම රැදී සිටිම හේතුවෙනුයි.

ඒ කෙසේ වෙතත් ඔහුගේ අඩු ව නොදැනෙන්ට මෙවර පාසල් ක්‍රිකට් වාරය අවසන් කිරීමට රාජකීය ක්‍රීඩකයන්ට හැකි වෙනවා. එහි දී ඔවුන් පූර්ණ ජයග්‍රහණ 3ක් වාර්තා කිරීමට සමත් වෙනවා.

කණ්ඩායමේ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතුරින් ඉදිරියෙන් ම පසු වෙන්නේ යසිඳු දිසානායක. ඔහු බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 152ක් ද සමඟින් මෙම තරගවාරයේ දී ලකුණු 550ක් ඉක්මවා ලබා ගන්නවා.

ඔහුට අමතර ව රෙහාන් පීරිස් ලකුණු 500 ඉක්මවමින් ද රමිරු පෙරේරා සහ ඉසුල ගීගනගේ ලකුණු 400 ඉක්මවා ලබා ගනිමින් ද පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට මහඟු සේවයක් කළා.

එමෙන් ම ඔවින අඹන්පොළ, අනුශ් පොළොන්නෝවිට සහ නෙත්වින් ධර්මරත්න ද රාජකීය විද්‍යාලයේ දක්ෂ පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක් ව සිටිනවා.

පන්දු යැවීමේ දී කණ්ඩායමේ උප නායක රමිරු පෙරේරා මෙවර පාසල් තරගවාරයේ දී කඩුලු 47ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා ලෙසින් ඉදිරියෙන් ම සිටිනවා. එමෙන් ම යෙනුල බණ්ඩාර, රනුක මලවිආරච්චි, දිනුර සේනාරත්න සහ නෙත්වින් ධර්මරත්න ද රාජකීය පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරන්නෝ ලෙසින් හැඳින්වෙනවා.

රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: සිනෙත් ජයවර්ධන (නායක), රමිරු පෙරේරා (උප නායක), ඉසුරු ගීගනගේ, රයන් සුගතදාස, කාලීඩ් රහිම්ඩීන්, උදන්ත ගංගේවත්ත, දිනුර සේනාරත්න, මලීෂ පෙරේරා, ඔවින අඹන්පොළ, යෙනුල බණ්ඩාර, තරුල් අම්පෙමොහොට්ටි, තමෝද් යශෝධ, ශේන් අබේරත්න, ගීශාන් පෙරේරා, අනික් ප්‍රනාන්දු, කුචිල රන්මණ්ඩල, තෙවිඳු වේවැල්වල, යසිඳු දිසානායක, නෙත්වින් ධර්මරත්න, අනුෂ් පොළොන්නෝවිට, බුලන් වීරතුංග, රෙහාන් පීරිස්, රනුක මලවිආරච්චි,

නිලධාරීන්: තිලක් වත්තුහේවා (විදුහල්පති), එන්. කේ. ඩබ්ලිව්. සිල්වා (සහකාර විදුහල්පති), අනුර ප්‍රශාන්ත (ක්‍රිකට් භාර ආචාර්ය), එම්. ඒ. එම්. රියාස් (ක්‍රීඩා භාර ආචාර්ය), රොහාන් සොයිසා (ප්‍රධාන පුහුණුකරු), චරිත් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු), ප්‍රගීත් ෆර්ඩිනැන්ඩෝ (දෙවැනි පෙළ පුහුණුකරු), කවිඳු මදාරසිංහ (සම්බන්ධිකාරක)

සාන්ත තෝමස් විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය මෙම තරගයට එක් වෙන්නේ මෙවර වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී තරග 5ක පූර්ණ ජයග්‍රහණය ලබා ගනිමිනුයි.

එහි දී නායක මහිත් පෙරේරා ශතක 3ක් සමඟින් ලකුණු 800ක් ඉක්මවා ලබා ගෙන කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට පත්ව තිබෙනවා. ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 151යි.

ඊට අමතර ව තීසන් ඇහැලියගොඩ ශතක 2ක් සමඟින් ලකුණු 600ක් ඉක්මවමින් ද දිනෙත් ගුණවර්ධන ශතකයක් සමඟින් ලකුණු 500ක් ඉක්මවමින් ද ලබා ගනිමින් සාන්ත තෝමසුවෙන් කැපී පෙණෙන මෙහෙවරක් කර තිබෙනවා. එබැවින් ඔවුන් කෙරෙහි මේ මහා ක්‍රිකට් තරගයේ දී ද තැබෙන්නේ ඉහළ විශ්වාසයක්.

ඊට අමතර ව නාදන් කල්දේරා, සදෙව් සොයිසා, මිතිල චාල්ස්, සේනාධි බුලන්කුලම, කවිඳු ඩයස් සහ ආකාශ් ප්‍රනාන්දු ද සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් වැඩි වගකීම් සහිතව තරගයට පිවිසෙනු ඇතැයි බලාපොරොත්තු තබා තිබෙනවා.

සාන්ත තෝමස් විද්‍යාලයේ ප්‍රධාන පන්දු යවන්නා බවට පත් ව සිටින්නේ අභීත් පරණවිදාන. ඔහු මේ දක්වා කඩුලු 62ක් ලබා ගනිමින් මේ විශ්වාසය දිනා සිටිනවා. ඊට අමතර ව කවිඳු ඩයස්, නේතන් කල්දේරා, යටින්ද සිර්වර්ධන සහ ආකාශ් ප්‍රනාන්දු පන්දු යවන්නන්ගේ බලඇණිය ශක්තිමත් කරන ප්‍රධානීන් බවට පත් ව තිබෙනවා.

සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම: මහිත් පෙරේරා (නායක), නාදන් කල්දේරා (උප නායක), අභීත් පරණවිදාන, කවිඳු ඩයස්, සේනාධි බුලන්කුලම, දිනෙත් ගුණවර්ධන, ආකාශ් ප්‍රනාන්දු, තීසන් ඇහැළියගොඩ, මහිත් රාජපක්ෂ, නෙතුන් විතානගේ, ඩේරියන් ඩියාගෝ, අරිත් අදිකාරම්, යටින්ද සිරිවර්ධන, අශේන් පෙරේරා, සදෙව් සොයිසා, සචිත්‍ර ගුණසිංහ, ශනිල් පෙරේරා, මානිත් ප්‍රනාන්දු, අනුක් දේවනාරායන, චනුත් ඇහැළියගොඩ, අවිශ්ක ප්‍රනාන්දු, මිතිල චාල්ස්, යොවෙල් වර්ණකුලසූරිය, චමාෂ් ගුණවර්ධන, ඒමන් අන්සාරි, ඩෙවින් ජයසූරිය, දිනෙත් පීරිස්, අන්ශාන්  ද සිල්වා.

නිලධාරීන්: දිනේෂ් කුමාරසිංහ (ප්‍රධාන පුහුණුකරු), ඩිල්ශාන් මෙන්ඩිස් (සහාය පුහුණුකරු)

මෙවර ද මෙම තරගයේ අනුග්‍රාහකයන් ලෙසින් කටයුතු කරන්නේ Dialog Asiata PLC සමාගමයි. 19 වැනි වරටත් Dialog Asiata PLC අනුග්‍රහය දක්වන මෙම තරගයේ දී බිඳ වැටෙන සෑම කඩුල්ලක් ම වෙනුවෙන් රුපියල් දස දහසක (10 000/=) මුදලක් ද පිතිකරුවෙක් විසින් ලබා ගනු ලබන සෑම ලකුණක් සඳහා ම රුපියල් දහසක (1000/=ක) මුදලක් ද වෙන් කරනු ලබන අතර එම මුදල් මෙරට දුෂ්කර පාසල් සංවර්ධනය සඳහා යෙදවීමට රාජකීය – සාන්ත තෝමස් සම සංවිධායකන් බලාපොරොත්තු වෙනවා.

ඔවුන්ගේ එම බලාපොරොත්තු සමඟින් මෙවර රාජකීය ක්‍රීඩකයෝ තමන් ගියවර දිනා ගත් කුසලාන තව දුරටත් රැක ගැනීම අරමුණු කර ගනිමින් මෙම තරගයට එක් වෙනු ඇතැයි සිතන අතර සාන්ත තෝමස් ක්‍රීඩකයෝ අහිමි වූ කුසලානය හිමිකර ගැනීම තම එක ම අරමුණ කර ගනිමින් මෙම තරගයට පිවිසීමට සැලසුම් සකස් කරනු නියතැයි සිතේ. එබැවින් මෙවර රාජකීය – සාන්ත තෝමස් නිල් ගැටුම වෙන අන් කවරදාටත් වඩාත් උණුසුම් ව SSC පිටියේ දී ක්‍රියාත්මක වීමට වැඩි ඉඩකඩක් පවතී.

තරගයට එක්වෙන රාජකීය විද්‍යාලයට සහ සාන්ත තෝමස් විද්‍යාලයට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ උණුසුම ඒ ආකාරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD‍ නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<