සඳුන්ටත් කොරෝනා; භානුක ඇතුළු 14ක් නිරෝධායනයට

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

2556

ඉන්දීය තරගාවලිය වෙනුවෙන් අවශ්‍ය වුවහොත් ආදේශ කිරීම සඳහා සූදානම් කරමින් තිබූ ශ්‍රී ලංකා විකල්ප සංචිතයේ ක්‍රීඩකයෙකු වන කඩුලු රකින පිතිකරු සඳුන් වීරක්කොඩි හට COVID-19 වයිරසය ආසාදනය වී ඇති බව අද (10) තහවුරු වී තිබෙනවා.

සඳුන් තවත් ක්‍රීඩකයින් 14 දෙනෙකු පමණ සමඟ කොළඹ දී පුහුණුවීම්වල නිරත වෙමින් සිටියේ කොළඹ TAJ හෝටලය තුළ නිර්මාණය කළ ජෛව ආරක්ෂිත බුබුල තුලයි. කෙසේ නමුත් සඳුන්, භානුක රාජපක්ෂ ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් පුහුණු තරග ක්‍රීඩා කිරීම සඳහා ඊයේ (9) රාත්‍රි කාලයේ දී දඹුල්ලට පිටත් කර තිබූ බව ද වාර්තා වුනා.

ඒ අනුව පහත නම් සඳහන් ක්‍රීඩකයින් වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ඇන්ජලෝ පෙරේරා, අසේල ගුණරත්න, අශාන් ප්‍රියන්ජන්, භානුක රාජපක්ෂ, චතුරංග ද සිල්වා, මහේල උඩවත්ත, රොෂේන් සිල්වා, මිලින්ද සිරිවර්ධන, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩර්සේ, ලහිරු මදුසංක, ඩිල්ශාන් මුණවීර, මලින්ද පුෂ්පකුමාර, ලහිරු ගමගේ

තවත් ක්‍රිකට් පුවත්:

එසේම තවත් ක්‍රීඩකයින් 24 දෙනෙකු දඹුල්ලේ පිහිටි හෝටලයක ජෛව ආරක්ෂිත බුබුලක රැඳී සිටින අතර, ඔවුන්ට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නැහැ.

එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට ද COVID-19 ආසාදනය වී තිබූ අතර ඒ හේතුවෙනුයි ඉන්දියාවට එරෙහි තරගාවලි වෙනුවෙන් අවශ්‍ය වුවහොත් ආදේශ කිරීම සඳහා විකල්ප සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙස සූදානම් කර තිබුණේ.

එංගලන්තයේ සිට දිවයිනට පැමිණි කණ්ඩායමේ නිරෝධායනය අද (10) දිනයේ දී අවසන් වීමට නියමිතව තිබූ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු Grant Flower සහ දත්ත විශ්ලේෂකවරයා හට COVID-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන්, එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිරෝධායන කාලසීමාව තවත් දින කිහිපයකින් වැඩි කර තිබෙනවා. 

එම නිසා මේ මස 13 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියේ ආරම්භය 18 වැනිදා දක්වා කල් දැමීමට සිදු වුනේ, ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් සඳහා තිබෙන දින ප්‍රමාණය අවම වීම නිසයි.

එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දැන් කොළඹ TAJ හෝටලයේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත් කර Cinnamon Grand හෝටලයේ ජෛව ආරක්ෂිත බුබුල වෙත මාරු කර තිබෙන අතර ඔවුන්ට සිදු කරනු ලබන තීරණාත්මක PCR පරීක්ෂණයක් හෙට (11) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා. අතර එහි ලැබෙන ප්‍රතිඵල අනුව මේ තරගාවලියේ ඉදිරිය ගැන තීරණය වනු ඇත.

යම් හෙයකින් එම PCR ප්‍රතිඵල අනුව තවත් ධනාත්මක ප්‍රතිඵල සහිත ක්‍රීඩකයෙක් හසුවුවහොත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නැවතත් මේ තරගාවලියේ දින වෙනස් කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති අතර තරගාවලිය පැවැත්වීම සඳහා ඔවුන්ට තිබෙන එකම විකල්පය වන්නේ දඹුල්ලේ ජෛව ආරක්ෂිත බුබුලේ සිටින ක්‍රීඩකයින් 24 දෙනාගෙන් යුත් සංචිතයක් ඉන්දීය තරගාවලිය සඳහා යොමු කිරීම පමණයි.

මේ එක්දින තරගාවලිය ICC සුපර් ලීගයේ එක්දින තරගාවලියක් වන බැවින් ප්‍රසාද ලකුණු සටහනේ දැනට 11 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවට මෙහි එක්දින තරගාවලියේ ජය ඉතාමත් වැදගත් වනවා.

ශ්‍රී ලංකා – ඉන්දීය නව තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 18
  • දෙවැනි එක්දින තරගය – ජූලි 20
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 23
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 25
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 27
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 29

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) ලෙසත් පැවැත්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<