2022 ගුවන් හමුදා ක්‍රීඩා සැලසුම් එළිදැක්වේ

437

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ගුවන් හමුදාපති ගොල්ෆ් ශූරතාවය සහ ගුවන් හමුදා පාපැදි සවාරිය ඇතුළු ගුවන් හමුදාවේ 2022 ක්‍රීඩා සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (12) ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවැත්වුණා.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට රැස්ව සිටි පිරිස අමතමින් 2022-23 වසරේ ක්‍රීඩා සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය ජනවාරි 21 සිට 23 දක්වා චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හිදී පැවැත්වීමට සූදානම් බවයි.

එම තරගාවලියේ ශූරයන්ට ලබා දෙන කුසලානය එළිදැක්වීම ගුවන් හමුදාපතිවරයා සහ Dialog Enterprise ප්‍රධානී නවීන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එහි දී නවීන් පීරීස් මහතා විසින් අනුග්‍රාහක චෙක්පත ගුවන් හමුදාපතිවරයාට පිරිනැමීම සිදු කළා.

ගුවන් හමුදාවේ 71 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු 4 සිට 6 දක්වා පැවැත්වීමට නියමිත බවත්, ඒ සඳහා මේ වන විට ක්‍රීඩකයින් 110කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එහි පිරිමි අදියර මාර්තු 4 සිට 6 දක්වා කිලෝමීටර් 400ක් ආවරණය කරමින් පැවැත්වීමට නියමිත අතර පළමු දින කොළඹ සිට පුත්තලම දක්වාත්, දෙවැනි දින පුත්තලම සිට අනුරාධපුරය හරහා දඹුල්ල දක්වාත්, තෙවැනි දිනය දඹුල්ල සිට නාරම්මල, ගිරිඋල්ල හරහා කටුනායකට පැමිණ තරගය අවසන් කිරීමට නියමිතයි.

එමෙන්ම එහි කාන්තා අදියර මාර්තු 06 වැනිදා පුත්තලම සිට කටුනායක දක්වා කිලෝමීටර් 105ක දුරක් ආවරණය කරමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම තරගවලට අමතරව 2022-2023 කාලසීමාවේ දී ගුවන් හමුදාව දායක වන තවත් ක්‍රීඩා තරග සහ තරගාවලි කිහිපයක් පිළිබඳව එහි දී ගුවන් හමුදාපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියා.

2022-2023 කාලසීමාවේ ගුවන් හමුදාව සැලසුම් කර ඇති තරගාවලි,

  • 12 වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය – 2022 සිට 2023 දක්වා (ඉසව් 38)
  • 23 වැනි පිරිමි ගුවන් හමුදා පාපැදි සවාරිය – 2022 මාර්තු 04,05&06
  • 11 වැනි කාන්තා ගුවන් හමුදා පාපැදි සවාරිය – 2022 මාර්තු 06
  • CISM ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු තරගාවලිය – 2022 ජූලි 16 සිට 23 දක්වා
  • ගුවන් හමුදාපති කුසලාන රගර් තරගාවලිය
  • ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<