ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) කොළඹ එස්. එස්. සී ක්‍රිකට් පිටියේ දී ආරම්භ විය.
තරගයේ පළමු දිනය අවසන් වන විට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 312ක් ලබාගෙන ප්‍රබල තැනක පසුවූයේ ජොනී බෙයාර්ස්ටොව්ගේ ශතකය හා බෙන් ස්ටෝක්ස්ගේ අර්ධ ශතක ඉනිම් සවියක් කරගෙනයි.
කාසියේ වාසිය සුපුරුදු ලෙස දිනා ගත් එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තේය.
සුද්දෝ ශ්‍රී ලංකාව White Wash කරයි ද?
ඇදවැටීම්, සිත් බිඳීම්, නැවත නැගිටීම් සමඟින් සිදුවන්නට ඇති සියලු දේ…
ශ්‍රී ලංකාව පිතිකරුවන් 7 දෙනෙක්, දඟපන්දු යවන්නන් 3 දෙනෙක් හා එක් වේගපන්දු යවන්නෙක් සහිතව තරගයට අවතීර්ණ වූයේ කෞෂාල් සිල්වා සහ අකිල දනංජය වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක හා ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට ඇතුලත් කරමිනි. දෙවන ටෙස්ට් තරගයේ ක්‍රීඩා කළ සෑම් කරන් හා ජිමි ඇන්ඩර්සන් වෙනුවට ජොනී බෙයාර්ස්ටොව් හා ස්ටුවර්ට් බ්‍රෝඩ් අද තරගයේ දී එංගලන්ත වෙනුවෙන් කණ්ඩායමට කැඳවා තිබුණි.
එංගලන්ත ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි රෝරි බර්න්ස් හා කීට්න් ජෙනින්ග්ස් දෙදෙනාම ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ දැවී ගිය අතර එම කඩුලු දෙකට හිමිකම් කිවේ දිල්රුවන් පෙරේරා හා මලින්ද පුෂ්පකුමාරයි.
එංගලන්ත පළමු ඉනිම ලකුණු 36/2ක් ලෙස දැක්වෙද්දී පිටියේ එක්වූ දකුණතින් පිතිකරණයේ නිරත වන නායක රූට් හා ජොනී බෙයාර්ස්ටොව් තෙවන කඩුල්ල වෙනුවෙන් ඉතාමත් හොඳ සබඳතාවයක් ගොඩනැංවූයේ දිවා විවේකය තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමිනි. ඒ වන විට ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 28*ක් හා ලකුණු 42*ක් ලබාගෙන සිටියේ පළමු දිනයේ පළමු කාර්තුවේ වැඩි වාසිය සංචාරකයින් සතු කරමිනි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරමක මන්දගාමී පන්දු යැවීමේ වේගයක් රඳවා ගැනීම නිසා තරගයේ පළමු කාර්තුව තුල ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 26ක් පමණි. නමුත් ඒ පන්දුවාර ප්‍රමාණය තුල එංගලන්ත කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 102ක් ලබාගත්තේ එක පන්දුවාරයකට 3.92ක පමණ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමිනි.
>>ශ්‍රී ලංකා – එංගලන්ත තෙවන ටෙස්ට් තරගයේ පළමු දින සේයා රූ<<
දිවා ආහාරයට අනතුරුව ද රූට් – බෙයාර්ස්ටොව් සුසංයෝගය තෙවන කඩුල්ලේ සබඳතාවය වර්ධනය කරගත්තේ මෙම ටෙස්ට් තරගාවලිය තුල තෙවන කඩුල්ල වෙනුවෙන් එංගලන්ත පිතිකරුවන් දෙදෙනෙක් ලබා ගත් හොඳම සබඳතාවය වාර්තා කරමිනි. ලකුණු 100ක සබඳතාවයක් තෙවන කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ පසුබිමක 4 පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබාගෙන සිටි රූට් දිල්රුවන් පෙරේරාගේ පන්දුවකට දැවී ගියේය. එහි දී රූට් එල්ල කළ පහර පිත්තේ එක් කොනක වැදුණු පන්දුව ඉහළ ගොස් පතිත වූයේ මිඩ් විකට් කලාපයේ සිටි ධනුෂ්ක ගුණතිලකගේ දෑත් මතටයි.
අනතුරුව පිටියට පැමිණි වමතින් පිතිකරණයේ නිරත වන බෙන් ස්ටොක්ස් (ලකුණු නොලබා සිටිය දී) එංගලන්ත ඉනිමේ 41 වන පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකොටගෙන ක්‍රීඩාගාරයට හරවා යැවීමට අවස්ථාව තිබූ නමුත් පිටියේ විනිසුරු වූ ක්‍රිස් ගැෆ්නි මහතාගේ තීරණය වැරදී යාම නිසා එම අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය. ඒ වන විට අවාසනාවකට මෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථාවන් දෙකම අපතේ ගොස් තිබීම ශ්‍රී ලංකාවේ අවාසිය දෙගුණ තෙගුණ කරන ලදි.
Stokes gets away with one…
Sri Lanka have used all of their reviews and so can’t do anything as Ben Stokes is given not out LBW on 0 ?
Watch #SLvENG live on Sky Sports Cricket now or follow our live blog here: https://t.co/15oeC8cjl0 pic.twitter.com/q1Vue3ybnp
— Sky Sports Cricket (@SkyCricket) November 23, 2018
තරගයේ පළමු දිනයේ දෙවන කාර්තුව (දිවා ආහාරයත් තේ පානයත් අතරතුර) තුල එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 95ක් ලබා ගත්තේ එම කාර්තුව තුල ක්‍රියාත්මක වූ පන්දුවාර 29 තුලයි. ඒ දක්වා නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි ස්ටොක්ස් හා බෙයාර්ස්ටොව් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවා තිබුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි අසීරුතාවකට පත් කරමිනි. තේ පානයට පසුව ගෙවී ගිය මිනිත්තු 43ක කාලය තුලත් ඔවුන් දෙදෙනා සිය සුපුරුදු පිතිකරණ විලාසය දියත් කිරීම ශ්‍රී ලංකාවට එතරම් අවාසිදායක වූයේ එංගලන්ත පළමු ඉනිම දැවැන්ත ලකුණක් වෙත ඔසවා තැබීමට අවශ්‍ය මූලික පසුබිම සැකසී ඇති නිසාවෙනි.
කෙසේ නමුත් 4 පහර 5ක් හා 6 පහර දෙකක් සමඟින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 16 වන අර්ධ ශතකය ලබා ගත් බෙන් ස්ටොක්ස් (ලකුණු 57) වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට දැවී ගියේ එංගලන්ත පළමු ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 99ක සබඳතාවය ද අවසන් කරමිනි. ඒ සඳහා ස්ලිප් කලාපයේ රැඳී සිටි ධනංජය ද සිල්වාගේ ද සහාය සඳකැන් හට ලැබුණි.
තරගයේ 66 වන පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී ද පිටියේ විනිසුරුවරුන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරනවා ද යන්න ගැටලුවක් වූයේ ලකුණු 102ක් ලබා සිටි බෙයාර්ස්ටොව්ගේ කඩුල්ල මුවා කිරීමේ වරද නොලැබී යාම නිසයි. එහි දී පිටියේ විනිසුරු ලෙස කටයුතු කළේ සුන්දරම් රවී මහතායි. කෙසේ නමුත් ඉන් පන්දුවාර 4කට පසුව සඳකැන් එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් 4 පහර 9ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 110ක් ලබා සිටි බෙයාර්ස්ටොව් එංගලන්ත ඉනිමේ 5 වන කඩුල්ල ලෙස දැවී ගියේය. බෙයාර්ස්ටොව්ගේ එම ඉනිම කැපී පෙනුණේ මේ තරගාවලියේ පළමු ටෙස්ට් තරග දෙකට සහභාගී නොවූ ඔහු මේ තරගයට පමණක් ක්‍රීඩා කර ශතකයක් ලබා ගැනීම නිසයි.
Oh, Jonny Bairstow was plumb! Sri Lanka miss out on yet another wicket due to umpire error and their loss of reviewshttps://t.co/FEztiO0esx #SLvENG pic.twitter.com/Lod1YlrF9n
— ESPNcricinfo (@ESPNcricinfo) November 23, 2018
නැවතත් ක්‍රියාත්මක වූ සඳකැන් 4 පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබාගෙන සිටි ජෝස් බට්ලර්ව දවා ගනු ලැබූ අතර එම කඩුල්ල සිය නමට ඉදිරියෙන් සටහන් කර ගැනීමට සඳකැන් සමත් විය. ඉන් අනතුරුව නැවතත් එංගලන්ත පළමු ඉනිම සවිමත් කිරීමේ අරමුණ ඇතිව පිටියේ ස්ථාවර වූ වමත් පිතිකරුවෙක් වන මොයින් අලී හා බෙන් ෆොක්ස් 7 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 29ක් ගොඩනැඟුවේය. ඒ සබඳතාවයට තිත තැබූ මලින්ද පුෂ්පකුමාර ලකුණු 13ක් ලබා සිටි ෆොක්ස්ගේ කඩුල්ල දවා ගත්තේ ශ්‍රී ලංකාවට යම් සහනයක් ගෙන එමිනි. අයහපත් ආලෝක තත්වය නිසාවෙන් තරගය පළමු දිනය සඳහා නවතා දමන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටින මොයින් අලී හා ආදිල් රෂිඩ් පිළිවෙළින් ලකුණු 23* හා ලකුණු 13*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි.
දෙරට අතර පැවැත්වූ පළමු ටෙස්ට් තරග දෙකම එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වීම නිසා ඔවුන් මේ තරගාවලියට අවතීර්ණ වූයේ මේ ටෙස්ට් තරගාවලියේ ශූරයන් ලෙසයි කෙසේ වුවත් ශ්‍රී ලංකා එංගලන්තයට එරෙහිව white wash වීමෙන් ගැලවීමට වීශාල වෙහෙසක් දරනු ඇත.
එංගලන්ත පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 312/7 (88.1): ජොනී බෙයාර්ස්ටොව් 110, බෙන් ස්ටොක්ස් 57, ජෝ රූට් 46, ලක්ෂාන් සඳකැන් 4/91, මලින්ද පුෂ්පකුමාර 2/64.
මේ තරගයේ තරග වාර්තා, එසැණ තොරතුරු, වීඩියෝ , ලකුණු සටහන් හා සේයාරූ, ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















