මහත්වරුන් ශ්‍රී ලංකාව White Wash කරයි ද?

209

ඇදවැටීම්, සිත් බිඳීම්, නැවත නැගිටීම් සමඟින් සිදුවන්නට ඇති සියලු දේ සිදු වූ අපූරු තරගාවලියක් වන සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ අවසන් හා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (23) කොළඹ SSC  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

දශක 4ක ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වසර 17ක් තිස්සේ මෙරට පිටියේ තරගාවලි ජයග්‍රහණයක් සොයමින් සිටි එංගලන්ත ක්‍රීඩකයෝ පසුගිය දා පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයත් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 57ක ජයග්‍රහණයක් ලබා ගනිමින් එකී සිහිනය යථාර්ථයක් බවට පත්කරගන්නට සමත් විය.

 එසේම හෙට (23) ආරම්භ වෙන තරගය එංගලන්තය යම් හෙයකින් ජයගතහොත් ශ්‍රී ලංකාවට එරෙහිව white wash ජයක් ලබන්නේ පළමු වතාවට 3-0ක් ලෙස ටෙස්ට් තරගාවලියක් අවසන් කරමිනි.

එංගලන්තය වසර 17කට පසු තරගාවලි සිහිනය සැබෑ කර ගනී

දශක 4ක ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වසර 17ක් තිස්සේ මෙරට පිටියේ තරගාවලි….

ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් දෙරට අතර ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 211කින් ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් විය. කෙසේ නමුත් එංගලන්තය හෙට ආරම්භ වන තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට ඉතාමත් හොඳ සූදානමකින් පිටියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයක් ද සමඟිනි.

මුහුණට මුහුණ

ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්වරුන් ලෙස සැලකෙන එංගලන්තය සමඟින් පළමු ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකාව සහභාගී වී ඇත්තේ වර්ෂ 1981 දී ය. එතැන් සිට ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග 33ක් පවත්වා තිබෙන අතර එයින් තරග 14ක ජය එංගලන්තය සතුවෙද්දී, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 8ක් පමණයි. තවත් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

මේ තරගාවලිය හැර දෙරට අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 15න් තරගාවලි 7කම ජය ලියැවී ඇත්තේ එංගලන්තයේ නම ඉදිරියෙනි. ශ්‍රී ලංකාව තරගාවලි 5ක් ජය ගන්නා විට තවත් තරගාවලි 3ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ටෙස්ට් ජයග්‍රහණ

ශ්‍රී ලංකාව අවසන් වරට මෙරට දී එංගලන්ත කණ්ඩායමක් ටෙස්ට් තරගයක දී පරාජය කර ඇත්තේ 2012 වර්ෂයේ දී වන අතර එම තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

එම ජයග්‍රහණයේ වැඩි ගෞරවය මහේල ජයවර්ධනට හා රංගන හේරත්ට හිමි විය යුතු අතර තරගාවලිය අවසානයේ රංගන හේරත් ශ්‍රී ලංකාව ජය ගත් තරගයේ වීරයා බවට ද පත්විය. තරගාවලිය අවසානයේ එම තරගාවලියේ වීරයා බවට පත්වුනේ මහේල ජයවර්ධනයි.

2014 වර්ෂයේ දී එංගලන්තයේ ලීඩ්ස් හිදී පැවති තරගයක් ලකුණු 100කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ තරගය ඉතිහාසයට එකතු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයට එරෙහිව ඔවුන්ගේ නිජබිමේ දී අවසන් වරට ලබාගත් ටෙස්ට් ජයග්‍රහණය ලෙසයි.

මාර්කස් ස්ටොනිස් ඉන්දීය සිහිනය බිඳ දමයි

බ්‍රිස්බන් ක්‍රිකට් පිටියේ දී අද (21) ආරම්භ වූ එංගලන්ත – ඉන්දියා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගයේ දී ….

 ඇන්ජලෝ මැතිව්ස් හා මොයින් අලී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම පිතිකරුවෙකි. ඔහු ඒ බව ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මෙතෙක් පැවති ටෙස්ට් තරග දෙක අවසානයේ ප්‍රදර්ශනය කර ඇත්තේ ඉනිම් 4ක දී ලකුණු 213ක් ලබාගෙනයි. ඒ අතරට අර්ධ ශතක තුනක් ඇතුළත්ය.

ඔහු එංගලන්තය සමඟ මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග 8ක දී ලකුණු  724ක් ලබාගෙන ඇත්තේ ඉනිම් 15ක් සඳහා ක්‍රීඩා කරමිනි. ඔහුගේ ලකුණු සාමාන්‍යය ලකුණු 54ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක පැවතීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම ප්‍රේක්ෂකයින් හට යම් අස්වැසිල්ලක් වනු නිසැකය.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසය පිරික්සා බැලූ විට වමතින් පිත්ත හසුරුවන මැදපෙළ ශක්තිමත් කළ හැකි පිතිකරුවෙක් වන මොයින් අලී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 7ක ඉනිම් 12ක් සඳහා දායක වෙමින් ලකුණු 371ක් ලබාගෙන ඇත. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ආසන්න වශයෙන් ලකුණු 51කට ආසන්න අගයක් ගනී. ඒ අතරට ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් ඇතුළත්ය. කෙසේ නමුත් ඔහුට පිතිකරුවෙක් ලෙස පළමු ටෙස්ට් තරග දෙක තුල සාර්ථක වීමට වරම් නොලැබුණි. තරග දෙකේ දී ම කඩුලු 14ක් දවා ගෙන මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස ඉදිරියෙන්ම සිටී.

දිමුත් කරුණාරත්න හා ජෝ රූට්

වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එංගලන්තයට එරෙහිව මේ දක්වා ටෙස්ට් ක්‍රිකට් තරග 7ක දී ඉනිම් 14ක් ක්‍රීඩා කර ලකුණු 406ක් ලබා ගැනීමට සමත්ව ඇත. එහි දී ඔහු 33කට ආසන්න ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතක දෙකක් ලබාගෙනයි.

කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් තරග 53කට සහභාගී වෙමින් ඉනිම් 103ක දී ලකුණු 3692ක් ලබා ගෙන ඇත. අවසන් වසර දෙක තුල ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 19කට සහභාගී වී ලකුණු 1572ක් ලබාගෙන ඇත්තේ ශතක 4ක් හා අර්ධ ශතක 9ක් ලබා ගනිමිනි. එම නිසා හෙට (23) පැවැත්වෙන තරගයේ දී කරුණාරත්න පිතිකරුවෙක් ලෙස එංගලන්ත පන්දු යවන්නන් හමුවේ යම් දෙයක් කරනු ඇතැයි වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකිය.

එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් මෑත කාලය තුල ඉතාමත් හොඳින් දස්කම් අතර සිටින පිතිකරුවෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරග 7ක දී ඉනිම් 12කට ක්‍රීඩා කරමින් ලකුණු 478ක් ලබාගෙන ඇත්තේ ශතක දෙකක් හා අර්ධ ශතකයක් ද ලබා ගනිමිනි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ද 51ක් වැනි හොඳ මට්ටමක පවතී.

දිමුත් හා රූට් යන දෙදෙනාම මේ තරගාවලියේ ඉනිම 4කදී පිළිවෙළින් ලකුණ 150ක් හා ලකුණු 176 ලබාගෙන ඉතාමත් හොඳ දස්කම් අතර සිටී.

අකිලගෙන් හිස් වන තැනට අයෙක් නම් කරයි

ශ්‍රී ලංකාව හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ලේ දී….

දිල්රුවන් පෙරේරා හා ජැක් ලීච්

තවමත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 33කට පමණක් සහභාගී වී කඩුලු 139ක් දවා ගෙන ඇති දකුණතින් දඟපන්දු යවන දිල්රුවන් 2014 වසරේ පාකිස්තානයට එරෙහිව සහජා හිදී පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගයක දී පළමු වතාවට ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගෙන ඇත.

ශ්‍රී ලංකාව සමඟින් පසුගිය දා ගාල්ලේ දී හා පල්ලෙකැලේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරග දෙකේ දී ම දිල්රුවන් හා ජැක් ලීච් පිළිවෙළින් කඩුලු 14ක් හා කඩුලු 13ක් දවාගෙන ඉතාමත් හොඳින් පන්දු යවන ලදි. තවමත් ජාත්‍යන්තර ටෙස්ට් තරග 3කට ක්‍රීඩා කර ඇති වමතින් දඟපන්දු යවන ලීච් කඩුලු 15ක් දවා ගෙන ඇත්තේ එක් කඩුලු 5 අවස්ථාවක් ද සාර්ථක කරගෙනයි. ජැක් ලීච්ගේ ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 24.46කි.

සුරංග ලක්මාල් හා ස්ටුවර්ට් බ්‍රෝඩ්

දිනේෂ් චන්දිමාල්ගේ ආබාධ තත්වය නිසා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලබා දී ඇත්තේ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වෙතයි. සුරංග ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 51ක දී කඩුලු 121ක් දවාගෙන ඇත්තේ කඩුලු 5 එක් අවස්ථාවක් ද ලබාගෙනයි. එංගලන්තය සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරග 9ක දී කඩුලු 17ක් දවාගෙන ඇත්තේ ලකුණු 921ක් ලබා දෙමිනි. එංගලන්තයට එරෙහිව ලක්මාල්ගේ ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 57.56කි.

ලොව ප්‍රබල වේගපන්දු බල ඇණියක් සිටින කණ්ඩායමක් ලෙස එංගලන්තය හඳුන්වා දීමට හැකි අතර ඒ අතරින් දකුණතින් වේගපන්දු යවන ස්ටුවර්ට් බ්‍රෝඩ්  වැදගත් වන්නේ ඔහුට නව පන්දුව හෝ පැරණි පන්දුව කියා භේදයකින් තොරව කළ හැකි දේ බොහෝ නිසාවෙනි. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් තරග 10ක් ක්‍රීඩා කර ඇති ඉනිම 19ක දී ඇන්ඩර්සන් කඩුලු 30ක් දවාගෙන ඇත්තේ 37.53ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. කොළඹ SSC පිටියේ දීම එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් ලබා ඇති ඔහු හෙට (23) SSC පිටියේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉතාමත් හොඳින් දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකිය.

පරීක්ෂණය අසමත් වූ චන්දිමාල් වෙනුවට වෙනත් අයෙක් සංචිතයට

ශ්‍රී ලංකා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් මේ මස 23 වැනිදා කොළඹ SSC පිටියේ දී ආරම්භ වන තෙවන….

එස්. එස්. සී ක්‍රිකට් පිටියේ ස්වභාවය හා කාලගුණ තත්වය

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන එස්. එස්. සී ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව බොහෝ දුරට දඟපන්දු යවන්නන්ට උචිත වන අතර පළමු දින දෙක/තුනක කාලය පිතිකරුවන්ට ද ඉතාමත් උචිත ලෙස හැසිරෙනු ඇත. මෙම ක්‍රීඩා පිටිය විවෘත කරනු ලැබුවේ 1982 වසරේ දී වන අතර ප්‍රේක්ෂකයින් 12,000කට පමණ අසුන් ගැනීමට හැකි.

SSC ක්‍රිකට් පිටියේ දී එංගලන්තය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරග 4කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන් ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් ජයග්‍රහණය කර ඇති අතර එක තරගයක් පරාජය වී ඇත.

යම්හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දුවට පහර දීමට සුදුසු බවයි දත්ත පිරික්සා බැලූ කල පෙනී යන්නේ. සෙල්සියස් අංශක 28 – 33 අතර පරාසයේ උෂ්ණත්වයක් පවතින මේ ක්‍රිකට් තරගයට සවස් කාලයේ දී විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමට ඉඩකඩක් පවතී.

අවසන් නිගමනය

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම තෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 4722ක් සමඟ ප්‍රසාද ලකුණු 105ක් දිනා ගෙනයි. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 3668ක් සමඟ ප්‍රසාද ලකුණු 97ක් දිනා ගෙනයි. ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද එංගලන්තය පෙරමුණේ පසුවෙයි.

නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගය හා තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට අපේක්ෂිත කණ්ඩායම

ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නිමා වූ පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පාදයේ මාංශ පේශි ඇදීමකට ලක්වී ඇති නිසාවෙන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා නොකළ ඔහු තෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අරමුණින් පෙරේදා (20) ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගී වූ නමුත් එහි දී ඔහු එම පරීක්ෂණය අසමත් වීම නිසා ධනුෂ්ක ගුණතිලකව සංචිතයට කැඳවූයේ චරිත් අසලංක ඉවත් කරමිනි. එසේම බ්‍රිස්බන් බලා ගිය අකිල වෙනුවට ලක්ෂාන් සඳකැන් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙද්දී ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවූයේ නිශාන් පීරිස්වය.

ශ්‍රී ලංකාව – සුරංග ලක්මාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා , නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), ලක්ෂාන් සඳකැන්, දිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර.

එංගලන්තය – ජෝ රූට් (නායක), කීට්න් ජෙනින්ස්, රෝරි බර්න්ස්, මොයින් අලී, බෙන් ස්ටොක්ස්, ජෝස් බට්ලර්, බෙන් ෆෝකස් (කඩුලු රකින්නා), ජොනී බෙයාර්ස්ටෝව්, අදිල් රෂිඩ්, ජැක් ලීච්, ස්ටුවර්ට් බ්‍රෝඩ්.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<