සීමිත පන්දුවාර තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන පසුබෑම තවදුරටත් දීර්ඝ කරමින් අද (13) ක්‍රියාත්මක වූ සිව්වැනි එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකාවට කඩුලු 6ක දරුණු පරාජයක් අත්විය.
ඒ අනුව 4-0ක් ලෙස මේ වන විට තරගාවලියේ ඉදිරියෙන් සිටින්නේ සත්කාරක දකුණු අප්‍රිකාවයි. කෙසේ වෙතත් සුවිශේෂී සිදුවීම වන්නේ තරගය පරාජය වුවද අද තරගයේ වීරයා සම්මානය සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඉසුරු උදානට හිමි වීමයි!
වර්ෂාවේ සාපයත් ඩි කොක්ගේ ශතකයත් නිසා තවත් තරගාවලි පරාජයක්!
මේ දක්වා කාලයක් ශ්‍රී ලංකාවට වාසනාවන්ත ක්‍රීඩාංගණයක් ලෙස හැඳින්වුනු ඩර්බන් පිටිය අද නම්…
පෝර්ට් එලිසබෙත් හි සාන්ත ජෝර්ජ් පාර්ක් හිදී අද තරගය ආරම්භ වූයේ දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසිස්ට කාසියේ වාසිය හිමිකර දෙමිනි. ඔහු ශ්‍රී ලංකා පිළට දැවැන්ත අභියෝගයක් එල්ල කරමින් මුලින් පන්දු යැවීමට තීරණය කළේය. අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් තීරණාත්මක වෙනස්කමක් සිදුකර තිබුණේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමෙන් ඉවත් කර කඩුල්ල පිටුපස වගකීම කුසල් මෙන්ඩිස්ට ලබා දෙමිනි. දික්වැල්ලගෙන් හිස්වුනු ආරම්භක පිතිකරණ ස්ථානය උපුල් තරංගට ලබා දී තිබුණි. මීට අමතරව පසුගිය තරගයේ දී ආබාධයකට ලක්වීම නිසා සංචාරයේ සෙසු තරග අහිමි වුනු කුසල් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා කැඳවා තිබුණි.
ශ්‍රී ලංකා තේරීම් කමිටුව තරමක අවදානමක් ගනිමින් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන අකිල ධනංජය අද කණ්ඩායමෙන් ඉවත් කරමින් ප්‍රියමාල් පෙරේරාට ජාත්‍යන්තර වරම් හිමිකර දීමට පියවර ගෙන තිබුණි. පිතිකරණය සඳහා වැඩි නැඹුරුවක් ඇති තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ප්‍රියමාල් තවමත් 23 හැවිරිදි යෞවනයෙකි. ඔහුට දකුණතින් පිට දඟපන්දු යැවීමේ හැකියාවක් ද ඇත. දකුණු අප්‍රිකානුවන් තම කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුකර තිබුණේ ඩුසේන්, තහීර්, රබාඩා සහ ප්‍රිටෝරියස් වෙනුවට ඒඩන් මාර්ක්‍රම්, ජේ.පී. ඩුමිනි, අන්රික් නොකෙයා සහ ඩේල් ස්ටේන් කණ්ඩායමට ඇතුළත් කරමිනි.
Photos: Sri Lanka vs South Africa – 4th ODI
අද තරගයේ දී හෝ ශ්‍රී ලංකා කණ්ඩායම තම ගෞරවය වෙනුවෙන් යම් සටනක් ලබා දෙනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුවද තරගය ආරම්භ වී හෝරාවක් පමණ ගතවන විටම ඔවුන්ගේ බලාපොරොත්තු සුළඟේ ගසාගෙන ගියේය. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සුපුරුදු දියාරු පිතිකරණ රටාව අදත් දැකගන්නට ලැබුණු බැවිනි. ආරම්භක පිතිකරුවෙකු ලෙස කණ්ඩායමේ ස්ථාවර වන්නට ලැබුණු තවත් අවස්ථාවකට අද උපුල් තරංග පයින් ගැසුවේ පහරවල් තෝරා ගැනීමේ දුර්වලතාවය නැවතත් පෙන්නුම් කරමිනි. ඔහු ලබා දුන් උඩපන්දුව තබ්‍රයිස් ශම්සි මිඩ්-ඕන් කලාපයේ සිට පහසුවෙන් රැක ගත්තේය.
සංචාරයේ මුල් තරගවල දී හොඳ පිතිකරණ හැකියාවක් පෙන්නුම් කළ ඕෂධ ප්‍රනාන්දු අද ලකුණු නොලබාම දැවී ගියේ ස්ලිප් කලාපයට උඩපන්දුවක් ලබා දෙමිනි. අවිශ්ක ප්‍රනාන්දු අද හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්ත ද අවසානයේ දැවී ගියේ ඔහුව දවා ගැනීම වෙනුවෙන් විශේෂයෙන්ම රඳවා තිබුණු ශෝට් මිඩ්-විකට් පන්දු රකින්නා අතටම උඩපන්දුවක් ලබා දෙමිනි. ලකුණු 51ට කඩුලු 4ක් බිඳ වැටුණු අවස්ථාවේ කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් පන්දුවාර කිහිපයක් තම කඩුලු ආරක්ෂා කරගෙන සිටිය ද ඔවුන් දෙදෙනා අතරේ ගොඩ නැගුණේ ලකුණු 18ක සුළු සබඳතාවයක් පමණි.
ලකුණු 9ක් ලබා ගැනීම වෙනුවෙන් පන්දු 25ක් වැය කළ කමිඳු අද ලකුණු වේගය වැඩි කිරීමට ගත් පළමු උත්සාහයේ දී ම දැවී ගියේය. ඉන් සුළු මොහොතකට පසුව දැවී ගිය කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුණු 21ක් පමණි. ශ්‍රී ලංකාව සතුව අද අංක 8 දක්වාම දීර්ඝ පිතිකරණ ලැයිස්තුවක් තිබුණ ද ඔවුන් නමට පිතිකරුවන් වූවා විනා ලකුණු රැස් කිරීමේ නොයෙදුණු නිසා ශ්‍රී ලංකා පිළේ ලකුණු පුවරුව ගොඩ නැගුනේ ඉතාමත් මන්දගාමීවයි. අද තරගයට එක්කර තිබූ ප්‍රියමාල් පෙරේරා තමා මුහුණ දුන් පළමු පන්දුවේ දී ම දැවී ගියේ ක්‍රිකට් ජීවිතයේ ස්වර්ණමය දිනයක් අඳුරු මතකයක් බවට පරිවර්තනය කර ගනිමිනි.
ධනංජය සිල්වා සහ තිසර පෙරේරා යම් ආරම්භයක් ලබා ගත්ත ද දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට ඔවුන් උනන්දුවක් දැක්වූයේ නැත. මේ අනුව ශ්‍රී ලංකා පිළේ කඩුලු 9ක් ලකුණු 131ක් තුල බිඳ වැටුණු අතර තවත් ලැජ්ජා සහගත පරාජයක පෙරමග සලකුණු පෙනෙන්නට පටන් ගෙන තිබුණි. මේ අවස්ථාවේ දී පිතිකරුවන් පැහැර හැරි වගකීම ඉටු කරන්නට පෙරට පැමිණියේ වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදානයි. ඔහු අද ක්‍රීඩාගාරයේ රැඳී සිටි පිතිකරුවන්ට දකුණු අප්‍රිකානු තණතිලි වලදී අනුගමනය කළ යුතු ධනාත්මක පිතිකරණ රටාව කියා දෙමින් ලකුණු 78ක් රැස් කළේ පන්දු 57ක් තුලදීයි.
යුද්ධය, භීතිය සහ ක්‍රිකට්
යුද්ධය කියන්නේ අපි බොහෝමයක් දෙනාට ….
අද ශ්‍රී ලංකා ඉනිමේ මුල් කොටසේ දී ඉතාමත් හොඳින් පන්දු යවා කඩුලු 3ක් දවාගෙන සිටි අන්රික් නොකෙයාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ උදාන ඔහු යැවූ එක් පන්දුවාරයක් තුල දී ලකුණු 23ක් උදුරා ගැනීමට ද සමත් විය. සමස්තයක් වශයෙන් ඔහු අද හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් එල්ල කළේය. ඒ අතරතුරේ දී කිහිප වතාවක් පන්දුව ක්‍රීඩාංගණයෙනුත් ඉවතට පියඹා ගිය අතර එක් අවස්ථාවක දී එය පිටියේ තිබෙන ඩිජිටල් තිරයට හානි පැමිණවීය. උදානගේ මෙම සටන්කාමී ඉනිම විදෙස් විස්තර විචාරකයින්ගේ නොමද ප්‍රශංසාවට ලක්විය. කෙසේ වෙතත් පිතිකරුවන්ගෙන් සහයෝගයක් හිමි නොවීම නිසා ශ්‍රී ලංකා ඉනිම අද ලකුණු 189කට නිමා විය.
මෙම ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිළේ මුල් කඩුල්ල ලකුණු 21 දී දවා ගන්නට ධනංජය ද සිල්වා සමත් විය. ඒ ලකුණු 8ක් ලබා සිටි රීසා හෙන්රික්ස් ලබා දුන් උඩපන්දුව ස්ලිප් කලාපයේ සිටි තිසර පෙරේරා රැක ගැනීමත් සමඟයි. කෙසේ වෙතත් ඉන් අනතුරුව දිගින් දිගටම ලකුණු සබඳතා ගොඩ නැගුණු නිසා ජය තහවුරු කර ගැනීම දකුණු අප්‍රිකානුවන්ට අපහසු වූයේ නැත. සංචාරය පුරාවට ශ්‍රී ලංකා පිළට ලොකුම හිසරදය බවට පත්වූ ක්වින්ටන් ඩි කොක් අද තම එක්දින දිවියේ 21 වැනි අර්ධ ශතකය ලෙස ලකුණු 51ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 6ක් සමඟයි.
නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික විරුවා
“1981….
තරගය තම ග්‍රහණයේම තබා ගැනීමට සහයෝගය දුන් ඒඩන් මාර්ක්‍රම් ලකුණු 29ක් රැස් කරද්දී නායක ප්ලෙසිස් ලකුණු 43ක් රැස්කර තම යුතුකම ඉටු කිරීමෙන් පසු දැවී ගියේය. දකුණු අප්‍රිකානුවන්ට දීර්ඝ පිතිපෙළක් නොමැති නිසා තරගය දිනවීමේ වගකීම පන්දු යවන්නන්ට භාර නොකෙරූ ඩේවිඩ් මිලර් සහ ජේ. පී. ඩුමිනි අවසානය දක්වාම කඩුල්ලේ රැඳී සිටිමින් තම කණ්ඩායමේ ජය තහවුරු කළහ. එහි දී මිලර් ලකුණු 25ක් රැස්කර ගනිද්දී කලකට පසු නැවතත් ජාතික කණ්ඩායම හා එක්වුණු ඩුමිනි ලකුණු 31ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 41ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. ඔහු පසුගිය තරගයේ දී ද පන්දුවෙන් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් විය. මීට අමතරව තරගයේ බිඳ වැටුණු අනෙක් කඩුල්ල කසුන් රාජිතට හිමි විය. තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පස්වැනි සහ අවසන් එක්දින තරගය ලබන 16 වැනිදා කේප්ටවුන් හිදී පැවැත්වීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















