යළි ආරම්භ වීමට නියමිත පාපන්දු තරගාවලි

151
Football News

නව කොරෝනා වසංගත තත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දමන ලද ලොව පුරා පාපන්දු තරගාවලි නැවතත් ආරම්භ කිරීමට මේ වන විට කටයුතු සැලසුම් කරමින් පවතියි. 

නව කොරෝනා වසංගතය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ එහි බලපෑම හේතුවෙන් පාපන්දු ක්‍රීඩාව ද සම්පූර්ණයෙන්ම අඩාල වූයේ ප්‍රමුඛ පෙළේ තරගාවලි ද ඇතුළුව සියලුම පාපන්දු තරගාවලි දින නියමයකින් තොරව කල් දැමීමට අදාළ සංවිධායකයින් තීරණය කිරීමත් සමඟ යි. පාපන්දු ක්‍රීඩාව වඩාත්ම ප්‍රචලිත යුරෝපා මහාද්වීපයට මෙහි බලපෑම ප්‍රබල ලෙස එල්ල වූයේ ලොව පුරා රසික ආකර්ෂණය දිනාගත් UEFA Champions League වැනි කලාපීය තරගාවලි මෙන්ම එංගලන්තයේ Premier League, ස්පාඥ්ඥයේ La Liga ඇතුළු ප්‍රධාන ලීග් තරගාවලි සියල්ලම ද ඒ ආකාරයට දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවීම හේතුවෙනි. 

කෙසේ නමුත් එම වෛරස තත්වයේ බලපෑම කෙමෙන් කෙමෙන් පහව යාම ආරම්භ වීමත් සමඟ යුරෝපය පුරා රටවල් කිහිපයක්ම ඔවුන්ගේ පාපන්දු ලීග් තරගාවලි නැවතත් ආරම්භ කිරීමට මේ වන විට  සූදානම් වෙමින් පසුවෙයි. 

ඒ අනුව ඒ ආකාරයට ආරම්භ කිරීමට නියමිත යුරෝපයේ පළමු ලීග් තරගාවලිය වන්නේ ජර්මනියේ Bundesliga තරගාවලිය යි. පසුගිය පෙබරවාරි මාසයේ මැද භාගයේ දී දින නියමයකින් තොරව කල් දමන ලද මෙම තරගාවලිය මෙම මස එළඹෙන 16 වන සෙනසුරාදා නැවතත් ආරම්භ කිරීමට ජර්මානු රජයෙන් අවසර ලබාදී ඇත. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ජර්මානු පාපන්දු සංගමය (DFB) පවසා සිටියේ තරගාවලිය නවතා දැමුනු 26 වන තරග දිනයේ සිට නැවතත් එය ඉහත දිනයේ දී ආරම්භ කිරීමට ඔවුන් සූදානමින් පසුවන බවයි. 

කෙසේ නමුත් එරට චාන්සලර්වරිය වන Angela Merkel සහ අදාළ බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇය නිවේදනය කර සිටියේ තරගාවලිය නැවතත් ආරම්භ කරන්නේ නම් එය හඳුන්වා දෙනු ලැබූ නව නීතිරීති වලට අනුව පමණක් පවත්වාගෙන යා යුතු බවයි. හඳුන්වා දෙනු ලැබූ මෙම නීතිරීති අතරට ‘ක්‍රීඩාංගණ තුළට තරග නැරඹීම සඳහා ප්‍රේක්‍ෂකයින් ඇතුළත් කර නොගැනීම’ ද වේ. ඒ අනුව එළඹෙන 16 වන දින ආරම්භ වන තරගාවලිය ජුනි මස 28 වන දිනයේ දී අවසන් කිරීමට එහි සංවිධායකයින් සැලසුම් කර ඇති අතර ඒ දක්වා පවත්වනු ලබන සියලුම තරග ප්‍රේක්‍ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට සිදුවනු ඇති බව ද වාර්තා වේ. 

ඊට අමතරව ස්පාඥ්ඥයේ La Liga තරගාවලිය ද එළඹෙන ජුනි මස 20 වන දින නැවතත් ආරම්භ කිරීමට එහි සංවිධායකයින් සූදානමින් පසුවන බව එම තරගාවලියේ ක්‍රීඩා කරනු ලබන Leganes පාපන්දු සමාජයේ ප්‍රධාන පුහුණුකරු Javier Aguirre මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනු ලැබීය. අදාළ La Liga බලධාරීන් මේ පිළිබඳව කිසිඳු නිල නිවේදනයක් තවමත් සිදුකර නැතත් Javier විසින් එරට Marco Claro MVS ගුවන්විදුලි සේවය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඔහුට මෙම පුවත එම අදාළ නිලධාරීන් විසින් දැනුම් දුන් බවයි. 

“අපේ ලීග් තරගාවලිය නැවතත් ආරම්භ කරන්න දිනයක් දැනටමත් තීරණය වෙලා තියෙන්නේ. ඒ අනුව ජුනි මස 20 වන දින තරගාවලිය ආරම්භ වෙලා සති 5ක කාලයක් පුරාවට එය පවත්වලා ජූලි මස 26 වන දින තරගාවලිය අවසන් වෙනවා. La Liga බලධාරීන් මාව මේ පිළිබඳව නිල වශයෙන් දැනුවත් කළා. තරගාවලිය නැවත ආරම්භ වීම ගැන දැනගන්න ලැබීම අපිට ලොකු සතුටක්. මොකද අපි පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්නත් දින නියම කරලා ඉවරයි. ඒ අනුව අපි හෙට දිනයේ දී අපේ පුහුණුවීම් කටයුතු නැවතත් ආරම්භ කරනවා.” 

පසුගිය සතිය පුරාවට La Liga කණ්ඩායම් රැසක ක්‍රීඩකයින් නැවතත් පුහුණුවීම් සඳහා යොමු වීමට පෙර අදාළ වෛද්‍ය පරීක්‍ෂණ කටයුතු සිදුකර ගැනීම උදෙසා සිය පාපන්දු සමාජ වෙත වාර්තා කෙළේය. පළමුව තනි තනිව සිය පුහුණුවීම් ආරම්භ කර අනතුරුව පසුදිනයක දී ඔවුන්ගේ නියමිත කණ්ඩායම් පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ඇත. මෙම ක්‍රීඩකයින්ට දීර්ඝ කාලයක් පුරාවට සිය පුහුණුවීම් කටයුතු වල නිරත වීමට නොහැකි වීම නිසා ඉදිරි තරග වලදී ඇති විය හැකි කායික අපහසුතා අවම කිරීමේ අරමුණින් එක් තරගයක් තුළ එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 5ක් ආදේශ කිරීමට අවස්ථාව ලබා දීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳව ද ස්පාඥ්ඥ පාපන්දු සම්මේලනය (RFEF) මේ වන විට සාකච්ඡා කරමින් පවතියි. 

ඉතාලියේ Serie A ලීග් තරගාවලියේ එම අදාළ කණ්ඩායම් වල පුහුණුවීම් කටයුතු පසුගිය සඳුදා (04) ආරම්භ වූ අතර එහිදී ක්‍රීඩකයින් පළමුව තනි තනිව සමාජ දුරස්ථභාවයට අදාළ සම්මතයන් පිළිපදිමින් සිය පුහුණුවීම් කටයුතු වල නිරත වීම අනිවාර්ය විය. අනතුරුව දැනට සැලසුම් කර ඇති පරිදි මෙම මස 18 වන දින ඔවුන්ට කණ්ඩායම් ලෙස සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කළ හැක. 

තවත් කියවන්න; 

එම ලීග් තරගාවලියේ ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් 20ම සුදුසු සහ ආරක්‍ෂිත දිනයක නැවතත් තරගාවලිය ආරම්භ කිරීමට සිය කැමැත්ත පළකර ඇත. නමුත් එරට ක්‍රීඩා අමාත්‍ය Vincenzo Spadafora මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ලැබුවත් කිසිසේත්ම පාපන්දු තරග නැවතත් මෑත දිනයක දී ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බවයි. තවද ඊයේ දිනයේ දී නැවතත් එහි ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම නව කොරෝනා වෛරස ආසාදිතයින් බව හඳුනා ගැනීමත් සමඟ Serie A තරගාවලිය නැවතත් ආරම්භ වීම තවදුරටත් අවිනිශ්චිත වී ඇත. 

එමෙන්ම එංගලන්තයේ Premier League තරගාවලිය ද එළඹෙන ජුනි මස මුල භාගයේ දී ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කරමින් පවතින බව වාර්තා වන නමුත් ඒ පිළිබඳව කිසිඳු නිල නිවේදනයක් තවමත් නිකුත් වී නොමැත. අනෙක් පසින් නෙදර්ලන්තයේ Eredivisie ලීග් තරගාවලිය මෙන්ම ප්‍රංශයේ Ligue 1 තරගාවලිය ද මෙම තරගවාරය සඳහා අවලංගු කර දමන්නට එම අදාළ සංවිධායකයෝ තීරණය කරනු ලැබූහ. 

විශේෂාංග ලිපි; 

කෙසේ නමුත් දකුණු කොරියාවේ K-League 1 තරගාවලිය ඔවුන්ගේ නව තරගවාරය සඳහා අද දින ප්‍රේක්‍ෂක සහභාගීත්වයෙන් තොරව ආරම්භ කරනු ලැබුවේ නව කොරෝනා වෛරස තත්වය හමුවේ කල් දමන ලද තරගාවලි අතුරින් ආරම්භ කරනු ලැබූ ලෝකයේ පළමු ලීග් තරගාවලිය බවට පත්වෙමිනි. එහිදී තරගාවලියේ පළමු තරගය ලෙස Jeonbuk Motors සහ Suwon Bluewings කණ්ඩායම් අතර අද දින සවස් වරුවේ පැවති එම තරගයෙන් ගෝල 1-0ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරගන්නට ප්‍රබල Jeonbuk Motors ක්‍රීඩකයින් සමත් විය. 

සමස්තයක් ලෙස ලොව පුරා නව කොරෝනා වෛරස තත්වය කෙමෙන් කෙමෙන් අඩු වෙමින් යන පසුබිමක් තුළ පාපන්දු ඇතුළු අනෙකුත් ක්‍රීඩා තරගාවලි ද නැවතත් ආරම්භ කරනු ලබන දින වකවානු ඉදිරි සති කිහිපය තුළ දී බොහෝ දුරට ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<