Mickey Arthur ශ්‍රී ලංකාවට සමුදීමට සැරසෙයි

924

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු වන Mickey Arthur මෙම මස පැවැත්වීම නියමිත බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් පසුව සිය තනතුරින් ඉවත් වීමට නියමිත බව වාර්තා වෙනවා.

එ් පිළිබඳව තහවුරු කරමින් Mickey Arthur සිය Twitter ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ, බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ඔහුගේ අවසන් පැවරුම වන බවත් වසර දෙකක කාලයක් පුරාවට ඔහුට සහය දැක්වූ ක්‍රීඩකයන් සහ පුද්ගලයින් හට සිය ස්තුතිය පුද කරන බවයි.

පුහුණුකරුවෙක් ලෙස වසර 16ක අත්දැකීම් ඇති Mickey ප්‍රධාන පුහුණුකරු ධුරය දැරූ සිව්වැනි ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව වන අතර ඔහු මීට පෙර දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තාන යන රටවල්වල පුහුණුකරු ලෙස කටයුතු කළා.

වසර දෙකක කාලයක් සඳහා 2019 වසරේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් වූ ඔහුට එවිට දුර්වල සහ අත්දැකීම් රහිත ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒම විශාල අභියෝගයක් වුනා.

ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තරග 25ක් තුළ ජයග්‍රහණ 8ක්, එක්දින තරග 18ක් තුළ ජයග්‍රහණය 07ක් පමණක් ලබා ගත් අතර ටෙස්ට් ආකෘතියේ දී ජය ගත්තේ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමඟ පැවති තරග ද්විත්වයක් පමණක් වීම විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හමුවේ මෙරට දී ටෙස්ට් තරගාවලියක් පරාජය වීම මෙන්ම පාකිස්තාන සහ දකුණු අප්‍රිකාව හමුවේ තරග පරාජය වීමට නිසා විටෙක ඔහුගේ පුහුණුකාරීත්වය පිළිබඳව විවේචන ද එල්ල වුනා.

නමුත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ලැබූ තරගාවලි අඩු වීම වැනි අභියෝග රැසක් හමුවේ තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍ය මග පෙන්වීම් ලබා දෙමින් ඔවුන් ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ඔහු දැඩි වෙහෙසක් දැරූ අතර එහි ප්‍රතිඵල නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී දැකගන්නට ලැබුණා.

තරගාවලියේ අවතක්සේරුවට ලක්වූ කණ්ඩායමක් ලෙස පළමු වටයේ තරග වදිමින් සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 වටයේ දී ප්‍රබල කණ්ඩායම්වලට හොඳ අභියෝගයක් එල්ල කළා.

තරගාවලියේ තරග 8කට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් 5ක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර මෙම අත්දැකීම් රහිත කණ්ඩායම තරගාවලියේ දැක්වූ දස්කම් පිළිබඳව බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමි වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ එම නැගී සිටීම පිළිබඳව Mickey Arthur ද සිය සතුට ප්‍රකාශ කළ අතර මේ මස 21 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය ඔහු පුහුණුකාරිත්වය දරන අවසන් තරගාවලියයි.

එම තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදෙන ඔහු එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායමක් වන Derbyshire හී ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිත බව එම කණ්ඩායමෙන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<