වනිඳු සිම්බාබ්වේ තරගාවලියෙන් ඉවතට

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

10027

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන වනිඳු හසරංගගේ ආබාධය තවමත් සම්පූර්ණ ලෙස සුව වී නොමැති නිසා එළඹෙන සිම්බාබ්වේ තරගාවලියේ දී ඔහුව විවේක ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

පසුගිය දා නිමා වූ LPL තරගාවලියේ අවසන් මහා තරගය අතරතුර ඔහු පාදයේ කලවා ආශ්‍රිත මස්පිඩු ඇදීයාමකට ලක් වූ අතර එය දෙවැනි මට්ටමේ මස්පිඩු ඉරීයාමක් බවට පසුව හඳුනා ගැනුණා.

එය මේ වන විට සුව අතට හැරෙමින් පවතින අතර ඉතාමත් කාර්ය බහුල කාලසීමාවක් පසු කළ වනිඳු හට සිම්බාබ්වේ තරගාවලිය ක්‍රීඩා නොකර විවේකයක් ලබා ගැනීමට සිදුව තිබෙනවා.

වත්මන් විස්සයි විස්ස ලෝක ශූරයින් වන ඕස්ට්‍රේලියාව සමඟ විස්සයි විස්ස තරග 5කින් සමන්විත තරගාවලියක් පෙබරවාරි 11 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස අවසානයේ දී ඕස්ට්‍රේලියාව බලා පිටව යාමට නියමිතයි.

ඒ තරගාවලිය වෙනුවෙන් වනිඳු සූදානම් කර ගැනීමට හැකි වේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

ඒ අනුව අවසන් වරට පැවති දකුණු අප්‍රිකානු තරගාවලියේ දී ශ්‍රී ලංකා එක්දින සංචිතය නියෝජනය කළ ක්‍රීඩකයින් 10 දෙනෙකු පමණ එළඹෙන සිම්බාබ්වේ තරගාවලිය සඳහා තරග වදින ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වන්නේ නැහැ.

ආබාධයකට ලක්ව සිටින කුසල් පෙරේරා සහ කොරෝනා වයිරසය ආසාදනය වී සිටින අවිශ්ක ප්‍රනාන්දු හට ද මේ තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා (පුද්ගලික හේතුවක් නිසා) සහ භානුක රාජපක්ෂ (විශ්‍රාම ගැනීම නිසා) ද මේ තරගාවලිය සඳහා සහභාගී වෙන්නේ නැහැ. ඊට අමතරව ලහිරු කුමාර, අකිල දනංජය, ලහිරු මධුසංක, පුලින තරංග සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් මේ සංචිතය සඳහා තෝරාගෙන නොමැති බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

ඒ වෙනුවෙන් වමතින් වේගපන්දු යවන කලන පෙරේරා, නුවන් තුෂාර, කඩුලු රකින පිතිකරු කමිල් මිශාර සහ චාමික ගුණසේකර පළමු වරට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර සංචිතයක් සඳහා ආරාධනා ලබාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

සිම්බාබ්වේ තරගාවලිය සඳහා අපේක්ෂිත ශ්‍රී ලංකා සංචිතය,

දසුන් ශානක (නායක), දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, මිනෝද් භානුක, කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කමිල් මිශාර, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, චාමික ගුණසේකර, දුෂ්මන්ත චමීර (ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත), කලන පෙරේරා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<