යුපුන් 200m දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළයි

Castiglione International Meeting 2022

2940

ඉතාලියේ පැවති Castiglione International Meeting 2022 මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන් මීටර් 200 ඉසව්වේ ජාතික සහ දකුණු ආසියානු වාර්තා බිඳ හෙළීමට අද (22) සමත් වුනා.

තරගාවලියේ පිරිමි මීටර් 200 තරගය සඳහා සහභාගී වූ යුපුන්, තත්පර 20.37ක කාලයකින් අවසන් කිරීමට සමත්ව තිබුණා.

එම කාලය සමඟ ඔහුට 2018 වසරේ දී මීටර් 200 ඉසව්ව තත්පර 20.68ක කාලයකින් අවසන් කරමින් විනෝජ් සුරංජය පිහිටුවා තිබූ ජාතික වාර්තාව සහ තත්පර 20.52ක කාලයකින් අවසන් කරමින් ඉන්දීය ජාතික Amlan Boragohain පිහිටුවා තිබූ දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළීමට යුපුන්ට හැකි වීම විශේෂත්වයක්.

මීටර් 100 ඉසව්වේ ජාතික මෙන්ම දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන යුපුන් අබේකෝන්, වසර කිහිපයකට පසුව මීටර් 200 ඉසව්වක් නියෝජනය කිරීම කැපී පෙනුන අතර මීට පෙර එම ඉසව්ව සඳහා ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ලෙස දැක්වුණේ තත්පර 21.35ක් ලෙසයි.

මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාව බිඳ හෙළමින් මෙවර තරග වාරයට නැවුම් ආරම්භයක් ලබා ගත් යුපුන් අබේකෝන්, පසුගිය දා පැවති මීටර් 100 තරගයක් තත්පර 10.04කින් (+2.4) අවසන් කර ඕනෑම තත්වයක් යටතේ දකුණු ආසියානු ක්‍රීඩකයෙකු මීටර් 100 ඉසව්වට වාර්තා කළ හොඳම කාලය නැවත අලුත් කිරීමට සමත් වුනා.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<