10 වන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලිය මැයි මස 10 වන දා සිට 13 වන දා දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත අතර 2015 වසරේ දී මෙහි ශූරතාවය දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ද ශූරතාවය දිනා ගැනීමට නම් ඉතා හොඳ, ශක්තිමත් කණ්ඩායම් කිහිපයක්ම පරාජය කිරීමට සිදු වනු ඇත.

ගුවන් හමුදාව හා යුද හමුදාව අවසන් වටයට

2017 රාජ්‍ය සේවා පිළිමළුන් පිටුදැකීමේ දැල්පන්දු තරගාවලියේ, අද (2) නිමා වූ අවසන් පූර්ව වටයේ දී, යුද හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 61-58ක් ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජය ද, පොලිස් ක්‍රීඩා සමාජය…

“අපි අද වෙනකන් දවස් 51 ක් පුහුණුවීම් කටයුතු සිදු කළා. මම හිතනවා පුහුණු වීමේ සැසි කිහිපය සාර්ථකයි කියලා. නමුත් අපිට ඒ සඳහා ලැබුණු කාලය ප්‍රමාණවත් නෑ. ඒ නිසා මට කෙටි ක්‍රම භාවිතා කරන්න සිදුවුණා”, පුහුණුවීම් කටයුතු සඳහා ලැබුණු කාලය පිළිබඳව අසතුටට පත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනී තමරා ලියනගේ මහත්මිය ThePapare.com සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.

එමෙන්ම තේරීම් කමිටුව ඇයට තෝරා පත්කර දුන් කණ්ඩායම පිළිබඳව ද සෑහීමකට පත්නොවන ඇය පවසන්නේ මෙම සංචිතය නියෝජනය කිරීමට සුදුසු ක්‍රීඩිකාවන් දෙපළක් තරගාවලිය සඳහා තෝරාගෙන නොමැති බවයි.

“අපි වැඩි අවධානයක් යොමු කළේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවන්න. මේක අවුරුදු 21න් පහළ කණ්ඩායමක් නිසා කණ්ඩායමේ සිටින්නේ පාසල් ක්‍රීඩිකාවන්. පාසල් මට්ටමේ ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් තරමක් අඩු තත්වයක තිබෙන්නේ. අපි සමහර දවස් වලට පුහුණුවීම් සැසි තුනක් සිදු කළා ‘attack defending’ සහ ‘shooting’ යන අංශ දෙක පමණක් මූලික කර ගනිමින්’, ඉතා වේගයෙන් තරගාවලියට පුහුණුවීම් සිදු කළ ආකාරය පෙන්වා දෙමින් ඇය ප්‍රකාශ කළාය.

කණ්ඩායමේ පුහුණු වීම් කටයුතු නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිදු කළ අතර එහි දී ද යම් යම් බාධාවන් ඇතිවිය.

“ගෘහස්ථ ක්‍රීඩාංගණයක පුහුණුවීම් කටයුතු කරන්න ලැබීම ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒත් ජයතිලක ක්‍රීඩාංගණයේ ප්‍රමිතිය අපි සහභාගී වීමට නියමිත ජාත්‍යන්තර තලයේ තරගාවලියකට පුහුණු වීමට තරම් ප්‍රමාණවත් නෑ. ඒ නිසා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සැසි කිහිපයක්ම කරන්න අවසර ඉල්ලා සිටියත් ඒ අවශ්‍ය අවසරය අපිට ලැබුණේ නෑ”, තවදුරටත් අප සමඟ අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළාය.

9 වන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලිය සඳහා සහභාගී වී ශූරතාවය දිනා ගත් කණ්ඩායම තුළ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් රැසක් ක්‍රීඩා කළ අතර ඒ වන විටත් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම වසර කිහිපයක්ම නියෝජනය කර තිබූ ගයනි දිසානායක එම කණ්ඩායමේ නායකත්වය දරන ලදි. මීට අමතරව දුලංගි වන්නිතිලක, තිෂලා අල්ගම, ගයාන්ජලී අමරවංශ හා රුවිනි යටිගම්මන ද ජාතික කණ්ඩායම නියෝජනය කළ, එම කණ්ඩායම තුළ සිටි ක්‍රීඩිකාවන් ය.

කෙසේ වුවත් එම 2015 වසරේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් අතරින් මෙම කණ්ඩායම නියෝජනය කරන්නේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් පමණි.

“2015 වසරේ මෙම තරගාවලිය සඳහා සහභාගී වූ නදී ප්‍රනාන්දු, සශිනි පෙරේරා සහ සචිනි රොද්‍රිගු ක්‍රීඩිකාවන් තිදෙනා මෙවරත් කණ්ඩායම නියෝජනය කරනවා. මේ ක්‍රීඩිකාවන් තිදෙනා අතරිනුත් සචිනි මෙම තරගාවලියේ දී අපේ කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩිකාවක්. ඇය 2015 වසරේ මුළු තරගාවලියම ක්‍රීඩා කළේ ‘Center’ ස්ථානයේ. අපේ කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩිකාව වන මන්දිරා චාරුනී, මම හිතන විදිහට ලංකාව තුළ සිටින හොඳම ගෝල රකින ක්‍රීඩිකාවන් 5, 6 අතර සිටිනවා. ඒ නිසා මෙම තරගාවලියේ දී මම සචිනි සහ මන්දිරා කණ්ඩායමට අතිශයින් වැදගත් ක්‍රීඩිකාවන් දෙපළක් වෙයි”, මෙවර කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියාය.

ප්‍රධාන පුහුණුකාරිනී තමරා ලියනගේ මහත්මිය කණ්ඩායම සහභාගී වූ පුහුණු තරග පිළිබඳව ද සතුටට පත්වී නොමැත.

“අපි කාන්තා කණ්ඩායම් සමඟ පුහුණු තරග දෙකකට පමණයි සහභාගී වුණේ. ඒ අතරින් නාවික හමුදා කාණ්ඩයම හොඳ කණ්ඩායමක්. අපි එක තරගයක් ලකුණු 2කින් ජයග්‍රහණය කරද්දී අනෙක ලකුණු 2කින් පරාජය වුණා. කෙසේ වුවත් ඒක හොඳ තත්වයක්. නමුත් අපි ගුවන් හමුදා කණ්ඩායම සමඟ එක තරගයටයි සහභාගී වුණේ. ඔවුන්ගේ ක්‍රීඩා කළේ තරමක් දුර්වල කණ්ඩායමක්. නමුත් අපිට අවශ්‍ය වුණේ හොඳ තරගකාරීත්වයක් තිබෙන පුහුණු තරග කිහිපයක්. ඊට අමතරව නාවලපිටිය කේන්ද්‍ර කර ගනිමින් දැල්පන්දු ක්‍රීඩා කරන පිරිමි කණ්ඩායම් කිහිපයක් සමඟත් අපි තරග කළා. ඔවුන්ගේ වේගවත් ක්‍රීඩා විලාශය අපේ කණ්ඩායමේ දක්ෂතා වැඩිදියුණු කර ගන්න බෙහෙවින් ඉවහල් වුණා”, ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.

කෙසේ වුවත් තරගාවලිය පිළිබඳ අදහස් දැක්වූ ඇය ප්‍රකාශ කර සිටියේ මෙවර තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම තරමක් අපහසු කාර්යයක් වුවත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් එය සිදු කිරීමට සමත් වනු ඇති බවට ඇය විශ්වාස කරන බවයි.

“හොං කොං කණ්ඩායම ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඔවුන්ගේ කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවන් 12 දෙනාම ගියවර තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන්. ඒ වගේම ඔවුන් අග්නිදිග ආසියානු තරගාවලියත් නියෝජනය කළා. ඔවුන් පුහුණුවීම් කටයුතු සිදුකළේ සිංගප්පුරුවේ. ඒ වගේම සිංගප්පූරුව සහ මැලේසියාව ත් ඉතා ප්‍රබල ප්‍රතිවාදීන් දෙපළක්’, ඇය සඳහන් කළාය.

“අපේ අවසාන බලාපොරොත්තුව මෙම වසරේදීත් ශූරතාව දිනා ගැනීම. නමුත් කණගාටුයි කියන්න, අපිට ‘තරගාවලි පන්දුව’ ලැබුණේ සියලුම පුහුණුවීමේ සැසි අවසන් කිරීමෙනුත් පසුව. අපිට තරගාවලිය ක්‍රීඩා කරන්න වෙන්නේ ‘ගිල්බර්ට්’ පන්දුවකින්. නමුත් අපි පුහුණුවීම් කටයුතු සිදුකළේ ‘මෝල්ටන්’ පන්දුවකින්. ආසියානු සම්මේලනයෙන් ලංකාවට එය අප්‍රේල් 8 වෙනිදා එවලා තිබුණත් අපිට එය ලැබුණේ අප්‍රේල් 25 වෙනිදා”, කනගාටුවට පත් ප්‍රධාන පුහුණුකාරිනී තමරා ලියනගේ මහත්මිය අවසාන වශයෙන් ප්‍රකාශ කළාය.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට