යුපුන් තමන්ගේම වාර්තාවක් අලුත් කරයි

Savona International Meet 2022

551

ඉතාලියේ සැවෝනා හි පැවති Savona International මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් එහි මීටර් 100 ඉසව්ව සිව්වැන්නා ලෙස අවසන් කිරීමට අද (18) සමත් වුනා. 

2022 තරග වාරයේ පළමු මීටර් 100 තරගයට එලෙස සහභාගී වූ යුපුන් අබේකෝන් එහි මූලික වටයේ තරගයේ දී සුළඟේ වාසිය සමඟ ඉසව්ව තත්පර 10.04 (+2.3) කැපී පෙනෙන කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වීම විශේෂත්වයක්.

එම තරගය පැවැත්වෙන අවස්ථාවේ දී පැවති සුළඟේ වේගය නිසාවෙන් එය වාර්තාවක් ලෙස සැලකීමට නොහැකි වූවත්, ඔහු විසින්ම පසුගිය වසරේ මීටර් 100 ඉසව්ව තත්පර 10.09ක කාලයකින් අවසන් කළා. ඕනෑම කාලගුණ තත්වයක් යටතේ ශ්‍රී ලාංකිකයෙකු එම ඉසව්ව සඳහා පිහිටුවා තිබූ වේගවත්ව කාලය නැවත ලියවීමට එලෙස ඔහුට හැකි වුනා.

තරගාවලියේ මීටර් 100 අවසන් තරග ද කෙටි වේලාවකින් පසුව පැවති අතර එහි දී පෙර රිද්මයට පැමිණීමට යුපුන්ට නොහැකි වූවත්, තත්පර 10.16ක හොඳ කාලයක් සමඟ ඉසව්ව සිව්වැන්නා ලෙස අවසන් කිරීමට යුපුන් සමත් වුනා.

එම ඉසව්වේ පළමු ස්ථානය වත්මන් මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් ශූර Marcell Jacobs (තත්පර 10.04) විසින් දිනා ගන්නා විට තත්පර 10.10ක කාලයකින් තරගය අවසන් කළ Arthur Cissé දෙවැනි ස්ථානය ද තත්පර 10.14ක කාලයකින් තරගය අවසන් කළ Jimmy Vicaut තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

යුපුන් මෙවර තරග වාරය මීටර් 150 තරගයන්ගෙන් ආරම්භ කෙරූ අතර ඔහු පසුගිය මස පැවති තරගාවලියක දී මීටර් 150 ඉසව්ව තත්පර 15.16ක කාලයකින් අවසන් කරමින් ආසියානු වාර්තාවක් පිහිටුවීමට ද සමත් වුනා.

එමෙන්ම ශ්‍රී ලංකා කෙටි දුර ධාවනයේ වැදගත් බලාපොරොත්තුවක් වන යුපුන් අබේකෝන් මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ද ඇතුළත් වෙනවා.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<