හිටපු පාකිස්තාන ප්‍රබලයෙක් පුහුණු තනතුරකට

344

පාකිස්තානු කණ්ඩායමේ ඉදිරි එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ඔවුන්ගේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පාකිස්තානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ නායක යුනිස් ඛාන් පත් කිරීමට එරට ක්‍රිකට් පරිපාලනය තීරණය කර තිබේ.

>> කොරෝනා මැද ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයන් වැඩ අරඹයි

පාකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ මිස්බා උල් හක් වන අතර ඔවුන්ගේ වේගපන්දු යවන පුහුණුකරු ලෙස වකාර් යුනිස් සහ දඟපන්දු පුහුණුකරු ලෙස මුස්තාක් අහමඩ් කටයුතු කරනු ලැබේ.

“මගේ කණ්ඩායම සහ රට නියෝජනය කරද්දී මට දැනුණ සතුටම මට මේ අවස්ථාවේ දීත් දැනුණා. මේක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. හැබැයි මම මට ලැබෙන වගකීම හැකි උපරිමයෙන්ම මගේ රටට, මගේ කණ්ඩායමට ලබා දෙන්න සූදානමින් ඉන්නවා. කණ්ඩායමේ දක්ෂ පිතිකරුවන් වගේම දක්ෂ ක්‍රීඩකයිනුත් ඉන්නවා. ඒ වගේම පුහුණුකාර්ය මණ්ඩලය වුනත් අත්දැකීම් බහුල සහ දක්ෂයින් පිරිසක් ඉන්නේ. ඒ කට්ටිය එක්ක එකට වැඩ කරන්න ලැබෙන එකත් මට ලොකු හයියක්” යැයි යුනිස් සිය පත්වීම පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

පාකිස්තානයෙන් බිහිවුණු දක්ෂ පිතිකරුවෙක් වන යුනිස් ටෙස්ට් තරග 118ක දී ලකුණු 10099ක් වාර්තා කරගෙන තිබෙන අතර 2009 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු 313 ඔහු එක් ටෙස්ට් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වේ. ඔහු එංගලන්තය තුල ටෙස්ට් ඉනිම් 16ක දී ලකුණු 810ක් ලබාගෙන ඇත්තේ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 50කට වඩා වැඩි මට්ටමක රඳවා ගනිමිනි. ඊට ශතක දෙකක් සහ අර්ධ ශතක තුනක් ඇතුළත් වේ.

>> ප්‍රබලයින් දෙදෙනෙක් හරවා යවමින් ඉරණම වෙනස් කරගත් ඉන්දියානුවා!

“මම කවදාවත් මට තියෙන දැනුම පුහුණුකරුවෙක් ලෙස මෙහෙම බෙදාගෙන නැහැ. මේක මටත් ලැබෙන අලුත් අත්දැකීමක් වෙයි. මම දන්නා පිතිකරණ තාක්ෂණය, පිතිකරණ රටාවන්, සහ එංගලන්තය සහ ඒ ඒ තණතීරු සහ දේශගුණික තත්වයන් යටතේ ක්‍රීඩා කරන්නේ කොහොමද, පිතිකරණයේ නිරත වෙන්නේ කොහොමද, පීඩනය සහ ශාරීරික යෝග්‍යතාවය පාලනය කරන එක ගැන වගේ මම දන්නා හැමදේම මගේ ක්‍රීඩකයින්ට මම කියලා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා” යැයි යුනිස් අවසන් ලෙස පැවසීය.

පාකිස්තානු කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය කොදෙව් එංගලන්ත ටෙස්ට් තරගාවලිය අවසන් වූ වහාම අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට දැනට කටයුතු සූදානම් කර තිබෙන අතර එම තරගාවලිය සඳහා ටෙස්ට් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<