ප්‍රබලයින් දෙදෙනෙක් හරවා යවමින් ඉරණම වෙනස් කරගත් ඉන්දියානුවා!

886

මෑතකාලීනව ඉන්දියානු වේගපන්දු බලඇණිය සවිබල ගැන්වූ ක්‍රීඩකයින් අතළොස්ස අතරින් උමේෂ් යාදව්ගේ පන්දු යැවීමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ප්‍රතිවාදී පිතිකරුවන්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම පාහේ බිඳ හෙළමින් තම අක්‍රමණශීලී වේගපන්දුවෙන් කැපී පෙනෙන දස්කම් පෑ යාදව්, Cricbuzz පුවත් සේවය සමඟ පැවැති සාකච්ඡාවක් අතරතුර දී සඳහන් කළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලිපියක් ඔවුන් පසුගියදා පළකොට තිබුනි. 

>> ක්‍රිකට් ක්‍රීඩාවටත් ආ ජාතිවාදී අරගලය

ඉන්දියානුවන් හට ක්‍රීඩාවකට එහා ගිය ආත්මීය බැඳීමක් ‘ක්‍රිකට් ක්‍රීඩාව’ සමඟ ඇති බව කියාපෑමට සාක්ෂි ඉතිහාසය පුරාවට ඕනෑ තරම් සොයා ගත හැකි අතර තමන් අද යම් තැනක සිටින්නේ එම ක්‍රීඩාව තම ජීවිතයේ වැදගත් කොටසක් බවට පත්කර ගත් නිසාවෙන් බව යාදව් තම අතීතාවර්ජනය ආරම්භ කරමින් පවසා සිටියේය. 

“වේගපන්දුව කියන්නේ වෙනමම කලාවක්. අද මම මේ තැන ඉන්නේ ඒ කලාව තරමක් දුරකට හෝ හරියාකාරව ප්‍රගුණ කරන්න හැකි වුන නිසා. ඒක තමයි මගේ අනන්‍යතාවය. පන්දුව අතට ගන්න හැම වෙලාවකම මම වෙනත් ලෝකයකට ගමන් කරනවා වගේ දැනෙනවා.” 

තම කුඩා කල සිහිපත් කළ උමේෂ්ගේ මුවඟෙහි නිතැතින්ම සිනහවක් නැඟුනේ තමන් බාල අවධියේ දී සිදුකළ දඟකාරකම් සියල්ලම සිහියට නැගුණ නිසාවෙන් බව සාකච්ඡාව අතරතුර වරෙක දී ඔහු සඳහන් කර සිටියේය. කෙළිදෙලෙන් කාලය ගෙවා දැමුවත් පුංචි සන්ධියේ සිටම ඉලක්කයන් හඹා යෑමේ දැඩි උනන්දුවක් තමන් කෙරෙන් දිස් වූ බවත් එය මේ දක්වා ආ ගමන් මඟෙහි සාර්ථකත්වය සඳහා දැඩි පිටුවහලක් වූ බවත් යාදව් විශේෂයෙන්ම පෙන්වා දුන්නේය. 

“මම පොඩි කාලේ ගොඩක් දඟයි. සමහර වෙලාවට ගෙදර අනිත් අයටත් නින්දක් නැහැ මගේ වැඩ නිසා. ඉස්සර මට මතකයි හොරෙන් අඹ කඩන්න අනෙක් අයගේ වතු වලට පනිනවා. එහෙම කොච්චර සැහැල්ලුවෙන් යාළුවෝ එක්ක කාලේ ගත කළත් මම කවදා හරි හොඳ තැනකට එනවා කියලා මම ඒ වෙනකොටත් ලොකු හීන මවමින් හිටියේ. හීන මැව්වා විතරක් නෙමෙයි මට ඒ ගැන හොඳ විශ්වාසයකුත් තිබ්බා.”

>> එංගලන්ත ප්‍රේක්ෂකයින් දැක්වූ ප්‍රතිචාරයට ECBයෙන් පැසසුම්!

අඟහිඟකම් මධ්‍යයේ තම කුඩා අවධිය ගෙවා දැමීමට සිදු වූ නිසා ක්‍රීඩා ජීවිතය තුළ ද පසුබැසීමට සිදුවූ අවස්ථා එමටව ඇති බව උමේෂ් පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩා උපකරණ කට්ටලයක් මිලදී ගැනීමට තරම්වත් වත්කමක් නොවූ නිසාවෙන් එක්තරා කාල සීමාවක දී ක්‍රිකට් ක්‍රීඩා කිරීම තමන් හට සිහිනයක්ව තිබූ බවයි. 

“අවශ්‍ය උපකරණ ටික මිලදී ගන්න මට ගෙදරින් මුදල් ලැබුනේ නැහැ. තිබ්බ ලොකුම ගැටළුව තමයි කොහොමද මම එච්චර ලොකු මුදලක් ඒ වෙනුවෙන් හොයන්නේ කියන එක. ඔය කාලේ දී තමයි මම දවසකට තරග තුනක් විතර ක්‍රීඩා කළේ. නාග්පූර් කියන්නේ දැඩි අව් රශ්මියක් තියෙන ප්‍රදේශයක්.ඒක නිසා පිට පිට තරග තුනක් ක්‍රීඩා කරනවා කියන එක ලොකු අභියෝගයක් වුනා.” 

“පහළම අඩියේ ඉඳන් ඉහළම පියවරට යන කෙනෙක් ඉන්නවා නම්, ඔහු හෝ ඇය කොතැනක දීම හරි අසාර්ථක වුනොත් ඒකට බය වෙන්න ඕන නැහැ. මොකද අදාළ පුද්ගලයා දන්නවා ඒ අසීරු ගමන එන්න කරන්න වුන කැප කිරීම් මොනාද කියලා. කොතැනක හරි වැරදුනොත් ඒක නිවැරදි කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා, ඒ කෙනාට අවස්ථාව තියෙනවා. අත්දැකීම් එක්කයි අපේ ජීවිතයේ ගොඩක් දේවල් බැඳිලා තියෙන්නේ.” 

උමේෂ්ගේ වේගපන්දුව පිළිබඳව අවධානයෙන් පසුවූ විදර්බා ප්‍රාන්ත කණ්ඩායම් කළමනාකාරීත්වය ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් තම ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමේ අවස්ථාව ඔහු වෙත සලසා දුන්නේය. ජාතික කණ්ඩායම සඳහා දොරටු විවර කරගැනීමේ අනගි අවස්ථාවක් බවට එය පරිවර්තනය කරගැනීමට උමේෂ් සමත් වූයේ එහිදී දැක්වූ සුපිරි දක්ෂතාවන් නිසාවෙනි. 

>> හිටපු ශ්‍රී ලංකා නායිකාව UAE හි හිරවෙයි

‘දුලිප් කුසලාන’ තරගාවලියේ දී වී. වී. එස්. ලක්ෂ්මන් සහ රාහුල් ඩ්‍රාවිඩ් වැනි ලෝක පූජීත ක්‍රීඩකයින්ගේ කඩුලු බිඳ හෙළීමට සමත් වූ යාදව්, එම තරගයේ දී කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වූයේ ජාත්‍යන්තර පිටියට ඔහුගේ සම්ප්‍රාප්තිය පිළිබඳ පැහැදිලි පණිවුඩයක් ප්‍රතිවාදීන් වෙත ලබා දෙමිනි. යොවුන් ක්‍රීඩකයින් හට තම අනාගතය සකස් කරගත යුතු ආකාරය සම්බන්ධයෙන් ද උපදෙස් කිහිපයක් ලබා දුන් යාදව්, එහිදී පෙන්වා දුන්නේ ශාරීරිකව සුවතාව මෙන්ම තමන් දරන ආකල්පයන් ද ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට යාමට එක හා සමානව වැදගත් වන බවයි. 

“ඔවුන්ට එරෙහිව පන්දු යවන්න මම ඒ වෙලාවේ සෑහෙන චකිතයකින් හිටියේ. ඒක ඇත්තටම ලොකු පීඩනයක්. නමුත් මට ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුනා. මම තරුණ ක්‍රීඩකයින්ට දෙන උපදෙස තමයි තමන්ගේ ශක්තීන් කෙරෙහි හැම වෙලාවෙම විශ්වාසය තියන්න. ‘මට මේක කළ හැකි’ කියන මානසිකත්වයේ ඉඳගෙන වැඩ කරන්න. එහෙම කළොත් නිකන්ම අපේ අරමුණ වලට ළඟා වෙන්න පුළුවන්.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<