පාසල් මට්ටමත් ආක්‍රමණය කරන තහනම් උත්තේජක

237

ලාංකීය මලල ක්‍රීඩාවට තවත් කැළලක් ඇති කරමින් යොවුන් ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක භාවිතා කළ බව පසුගිය දා අනාවරණය විය. ඒ පසුගිය වසරේ (2018) පොළොන්නරුවේ දී පැවති ජාතික ක්‍රීඩා උළෙලේ දී චෙල්සි මෙලනි බෙන්දරගේ නම් ක්‍රීඩිකාව ලබා දුන් සාම්පලවල තහනම් උත්තේජක ඇති බව පරීක්ෂණයකින් අනතුරුව හෙළිවීමත් සමඟිනි.

ගෙවී විය වසරේ ට්‍රැක් එකේ සිදුවුනු දෑ

ගතවුනු 2018 වර්ෂය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියට ඉතාම සුබදායක කාල පරිච්ඡේදයක් වුනා..

පසුගිය වසරේ දී ඉතා හොඳින් තම දක්ෂතා අතරට එමින් සිටි ක්‍රීඩිකාවක වන චෙල්සි, සමස්ත ලංකා අන්තර් පාසල් ක්‍රීඩා උළෙලේ දී මෙන්ම සර් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා උළෙලේ දී ද තම දක්ෂතා මැනවින් පෙන්නුම් කිරීමට සමත් විය. ඇය සමස්ත ලංකා අන්තර් පාසල් ක්‍රීඩා උළෙලේ දී වයස අවුරුදු 18න් පහළ මීටර 100 ධාවන ඉසව්වේ දී නව වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේ තත්පර 12.27ක දක්ෂතාවක් පෙන්නුම් කරමිනි. එම ක්‍රීඩා උළෙලේ දී ම මීටර 100 සහාය දිවීමේ ඉසව්වෙන් ද නව වාර්තාවක් පිහිටුවීමට ඇය තම දායකත්වය ලබා දී තිබුණි.

සර් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා උළෙලේ දී වයස අවුරුදු 18න් පහළ මීටර 100 සහාය දිවීමේ ඉසව්වේ දී වසර 15ක් පැරණි වාර්තාවක් බිඳ හෙළීමට චෙල්සි ප්‍රමුඛ ගාමිණි ජාතික පාසල් කණ්ඩායම සමත් වූයේ තත්පර 49.96ක දක්ෂතාවයක් පෙන්නුම් කරමිනි.

පාසල් තලයේ ඇය පෙන්නුම්  කළ දක්ෂතා සැලකිල්ලට ගෙන දකුණු පළාත් කාන්තා මීටර 100 සහාය දිවීමේ කණ්ඩායමට තේරී පත්වූ අතර එමඟින් ඇයට ජාතික ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට හැකි විය. එහි දී චෙල්සි ප්‍රමුඛ දකුණු පළාත් කණ්ඩායම කාන්තා මීටර 100 සහාය දිවීමේ ඉසව්වේ අවසන් මහා තරගයේ දී රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය.

(චෙල්සි සමස්ත ලංකා අන්තර් පාසල් ක්‍රීඩා උළෙලේ දී වයස අවුරුදු 18න් පහළ මීටර 100 ධාවන ඉසව්වේ දී නව වාර්තාවක් පිහිටුවීමෙන් අනතුරුව)

ජාතික ක්‍රීඩා උළෙලේ හිමිකර ගැනීමට සමත් වූ එම ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (Sri Lanka Anti-Doping Agency) විසින් ඇයගෙන් ලබා ගත් සාම්පල පරීක්ෂාවෙන් තහනම් උත්තේජක ශරීර ගතවී ඇති බව අනාවරණය විය. එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට ඇයට සිදු කළ හැකිව ඇත්තේ තමාට එල්ල වී ඇති චෝදනාව පිළිගැනීම හෝ B සාම්පල පරීක්ෂාවක් සිදු කිරීම පමණි.

තවමත් 18 හැවිරිදි පාසල් ක්‍රීඩිකාවක වන ඇය වෙත එල්ල වී ඇති මෙම චෝදනාවත් සමඟ “තහනම් උත්තේජක රැල්ල” ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය ද ආක්‍රමණය කර ලාංකීය මලල ක්‍රීඩා ක්ෂේත්‍රය අන්තරාදායක තත්වයකට දමා ඇති බව මනාව පිළිබිඹු වේ.

මීටර් 400 ශූරයාට තහනම් උත්තේජක චෝදනා

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු තරගාවලියේ මීටර් 400 නියෝජනය කළ මලල ක්‍රීඩකයෙක්…

මීට පෙර ද මෙවැනි සිදුවීමක් වාර්තා වූ අතර එහි දී දිගුදුර ධාවකයෙකු වූ කාලිංග කුමාරගේ හට තාවකාලික තරග තහනමක් හිමි වූයේ ඔහුගේ සාම්පල පරීක්ෂාවකින් අනතුරුව steroid නම් තහනම් උත්තේජක ශරීර ගතවී ඇති බව හෙළිවීමෙනි. ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ විනයභාර කමිටුව මඟින් ඔහු පිළිබඳව නැවත වරක් පරීක්ෂාවක් කිරීමට නියමිත අතර එමඟින් ඔහුට එල්ල වී ඇති චෝදනාව සනාථ වුවහොත් අවුරුදු 5ක තරග තහනමකට යටත් වීමට සිදු වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<