පරිපාලනය සමඟ ගැටුම් මැද Barcelona ක්‍රීඩකයෝ වැටුප් කප්පාදුවට එකඟ වෙති

104

ස්පාඤ්ඤයේ ප්‍රබල FC Barcelona ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් සහ එහි පරිපාලනය අතර දිනෙන් දින ගැටුම් උත්සන්න වන පසුබිමක Lionel Messi ප්‍රමුඛ ක්‍රීඩකයෝ 70%ක වැටුප් කප්පාදුවකට එකඟ වී ඇත. 

‘Coronavirus’ තත්වය හේතුවෙන් උද්ගතව ඇති මූල්‍යමය අර්බුද තත්වයට මුහුණ දීමට FC Barcelona පාපන්දු සමාජයට අවශ්‍ය සහය ලබා දීම සඳහා එහි ක්‍රීඩකයින් 70%ක වැටුප් කප්පාදුවට අමතරව ඉන් ඔබ්බට ගිය තවත් 2%ක කප්පාදුවකටත් එකඟ වූ බව නායක Lionel Messi සහ එහි සභාපති Josep Maria Bartomeu තහවුරු කරනු ලැබූහ. 

ඒ අනුව මෙම වැටුප් කප්පාදුව හරහා ඔවුන්ට ක්‍රීඩා සමාජය තුළ සේවය කරන ක්‍රීඩා කටයුතු වලට සම්බන්ධ නොවන සේවකයින්ගේ වැටුප් සම්පූර්ණයෙන් ම සුපුරුදු පරිදි ගෙවීමට අවස්ථාව සැලසෙනු ඇත. 

මේ පිළිබඳව Bartomeu නිකුත් කළ ප්‍රකාශයේ ඔහු සඳහන් කර තිබුණේ;

“මුල ඉඳන්ම Messi කිව්වේ මේක වෙන්න ඕන කියලා. මේ හරහා අපේ පාපන්දු සමාජය කෙරෙහි ක්‍රීඩකයින්ගේ තියෙන කැපවීම හොඳින් විදහා දැක්වෙනවා. මට ඕන වුනේ මේක හැමෝගෙම එකඟතාවෙන් කරන්න. නැතුව මට මේක බලෙන් කරන්න ඕන වුනේ නැහැ. ඉතින් ඒක මට අවශ්‍ය වුන ආකාරයට දැන් වෙලා තියෙනවා වගේම ක්‍රීඩකයෝ මේකට මුල ඉඳන් ම කැපවුණ බවත් කිව යුතුයි.”

මේ පිළිබඳ තහවුරු කරමින් Messi විසින් ඔහුගේ Twitter ගිණුමේ පළකර ප්‍රකාශයේ දැක්වුණේ;

“අපේ පැත්තෙන් මේ තත්වය අවසන් වෙනකන්  අපි 70%ක වැටුප් කප්පාදුවට අමතරව ක්‍රීඩා සමාජයේ අනෙක් සේවකයින්ට 100%ක් ඔවුන්ගේ වැටුප් ලබා ගන්නට හැකි වන පරිදි අපේ අතිනුත් දායකත්වයක් ලබා දෙන්න අපි සූදානම්.”

“අපි මුලින්ම පැහැදිලි කරන්න ඕන මුල ඉඳන්ම වැටුප් කප්පාදුවකට අපේ කැමැත්ත තිබුණා කියලා. මොකද අපි දන්නවා මේක අර්බුදකාරී අවස්ථාවක් කියලා. මේ වගේ අවස්ථාවල අපි තමයි හැමවෙලේම මුලින්ම පරිපාලනය ඉල්ලපු දේවල්වලට සහයෝගය ලබා දුන්නේ. ගොඩක් අවස්ථාවල දී අවශ්‍යයි කියලා අපිට දැනුණා නම් අපි විසින්ම අපේ කැමැත්තෙන්ම පවා දේවල් වෙලාවල් තියෙනවා.”

මෙවන් තත්වයක් යටතේ වුවද ක්‍රීඩා සමාජයේ පරිපාලනය වැටුප් කප්පාදුවක් ලබා ගැනීමට ඔවුන්ව පීඩනයට ලක්කිරීම පිළිබඳව තමන් පුදුමයට පත්වන බව ද මෙහි දී Messi අනාවරණය කරනු ලැබීය. 

“එහෙම වෙලත් පරිපාලනයේ ඉන්න සමහර පුද්ගලයෝ අපි මුල ඉඳන්ම කැමති වෙලා ඉඳපු දෙයක් කරන්න අපිට දැඩි පීඩනයක් එල්ල කිරීම ගොඩක් පුදුම සහගතයි. විශේෂයෙන් මේකට එකඟ වීම ඉදිරියට ගියා නම් ඒක වුනේ මේ වගේ අමාරු කාලෙක ක්‍රීඩා සමාජයට වගේම එහි සේවකයින්ටත් උදව් කරන්න නිසි ක්‍රමවේදයක් අපි හොයපු නිසා.”

70%ක වැටුප් කප්පාදුවට අදාළව පරිපාලනය විසින් ඉදිරිපත් කළ පළමු යෝජනාව ක්‍රීඩකයින් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබූ බවත් ඔවුන් ඒ සඳහා එකඟ නොවන්නේ නම් ස්පාඤ්ඤයේ ‘ERTE’ (Temporary Employment Regulation File) නීතිය යටතේ එය ක්‍රියාත්මක කිරීමට පරිපාලනය සූදානම් බවත් පසුගිය සතියේ වාර්තා වන්නට විය. 

Barcelona ක්‍රීඩා සමාජය එහි සාමාජිකයින්ගේ අයිතිකාරීත්වය යටතේ පමණක් පවතින අතර ඒ හේතුවෙන් ඊට වෙනත් ආයෝජකයින්ගේ කිසිදු ආයෝජනයක් නොමැත. මේ නිසා මෙම වසංගත තත්වය හේතුවෙන් ඔවුන්ට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව අපේක්‍ෂා කෙරෙන අතර මේ වන විටත් ඔවුන්ට තරග හරහා ලැබෙන ආදායමත්, සතියකට දහස් ගණනක් සංචාරකයින් පැමිණෙන ඔවුන්ගේ කෞතුකාගාරයෙන් ලැබෙන ආදායමත් අහිමි වී ඇත. 

තවදුරටත් යුරෝපය පුරා පාපන්දු තරග දින නියමයකින් තොරව අත්හිටුවා ඇති හෙයින් විකාශන කටයුතු හරහා මෙන්ම ත්‍යාග මුදල් හරහා ද ඔවුන්ට ලැබෙන මුදල් ප්‍රමාණය පිළිබඳව නිශ්චිත භාවයක් නොමැත. 

කෙසේ නමුත් ක්‍රීඩකයින් වැටුප් එකඟ වීමත් සමඟ මෙම තත්වය මේ වන විට සමථයකට පත්ව ඇතත් ක්‍රීඩකයින් අතරත් ක්‍රීඩා සමාජයේ පරිපාලනය අතරත් ඇති ගැටුම්කාරී තත්වය තවදුරටත් ඒ ආකාරයට ම පවතී. මෙම තත්වය තව තවත් උත්සන්න වන්නට වූයේ ක්‍රීඩා සමාජයේ පරිපාලනය විසින් එහි සමාජ මාධ්‍ය කටයුතු වලට අදාළව ගෙන ඇති අර්බුදකාරී ක්‍රියාමාර්ගයක් පදනම් කරගෙනයි. 

එහි දී මාධ්‍යවේදී පරීක්‍ෂණයක් හරහා අනාවරණය වූයේ ඔවුන් සමාජ මාධ්‍ය ආයතනයක් වන ‘I3 Ventures’ නමැති ආයතනය සමඟ Bartomeu ප්‍රමුඛ පරිපාලනයේ නාමය ඉහළ නැංවීම සඳහාත් ක්‍රීඩකයින් විවේචනය කිරීම සඳහාත් යූරෝ මිලියන ගණනක කොන්ත්‍රාත්තුවකට එළඹ ඇති බවයි. ඒ අනුව ‘I3 Ventures’ ආයතනය සමාජ මාධ්‍ය තුළින් ව්‍යාජ ගිණුම් සකසමින් එම කාර්යය සිදු කරනු ලැබූ බව අනාවරණය වන්නට විය. 

තවත් කියවන්න;

මේ හරහා කණ්ඩායමේ සිටින ප්‍රබලයින් වන Messi හා Gerard Pique වැනි ක්‍රීඩකයින්ට, එහි විශේෂ ස්ථානයක් දිනාගෙන සිටින Carles Puyol, Xavi Hernandez සහ Pep Guardiola වැනි හිටපු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් මෙන්ම එළඹෙන 2021 වසරේ දී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේ දී ක්‍රීඩා සමාජයේ සභාපති ධූරය සඳහා තරග කිරීමට බලාපොරොත්තු වන Agusti Benedito, Victor Font සහ Jaume Roures වැනි අය ද අගෞරවයට සහ අවමානයට ලක්කරමින් සහ විවේචනය කරමින් සමාජ මාධ්‍ය තුළ මත පළකෙරුණු බවට චෝදනා එල්ල විය. Font සහ Roures මීට අදාළව අදාළ බලධාරීන්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි අතර Bendito ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ එම චෝදනා සත්‍ය නම් ඔහු Bartomeu ප්‍රමුඛ පරිපාලනයට එරෙහිව නීති මගට යාමට සූදානම් බවයි. 

කෙසේ නමුත් Bartomeu මීට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඔවුන් විසින් කිසිවෙකුව හෝ විවේචනය කිරීමට ‘I3 Ventures’ හට කොන්ත්‍රාත්තුවක් ලබානොදුන් බවත් එය එම ආයතනය විසින් සිදු කරනු ලැබූවක් බවත් ඒ හේතුවෙන් ක්‍රීඩා සමාජය සහ ඔවුන් අතර සමාජ මාධ්‍ය කටයුතු වලට අදාළව පැවති කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට තීරණය කෙරුණු බවත් ය. 

පසුගිය කාලය පුරාවට Barcelona ක්‍රීඩකයින් සහ පරිපාලනය අතර යම් ගැටලු පැනනැගුණු අතර ඒ අනුව මේ වනවිට දෙපාර්ශවය අතර සබඳතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<