තවමත් පාපන්දු ක්‍රීඩා කරන රටක් අප්‍රිකාවේත්

125
Burundi playing football amidst coronavirus

අප්‍රිකානු කලාපයේ රාජ්‍යයක් වන බුරුන්දි (Burundi) තවමත් සුපුරුදු පරිදි පාපන්දු තරග පවත්වමින් තිබෙන බව වාර්තා වේ. 

‘Coronavirus’ තත්වයේ ශීඝ්‍ර පැතිර යාමත් සමඟ මේ වන විට ලෝකය පුරා පාපන්දු මෙන්ම අනෙක් ක්‍රීඩා ඉසව් රැසක් ද දින නියමයකින් තොරව කල්දැමූ පසුබිමක බුරුන්දි රාජ්‍යයේ පාපන්දු තරග සුපුරුදු පරිදි පැවැත්වීමට අදාළ බලධාරීන් කටයුතු කරමින් සිටී. 

ඒ අනුව අප්‍රිකානු කලාපය තුළ අනෙක් සියලුම රටවල් සිය දේශීය පාපන්දු තරගාවලි කල් දැමීමත් සමඟ එම කලාපයේ තවමත් පාපන්දු තරග සුපුරුදු පරිදි පවත්වන එකම රට වන්නේ බුරුන්දි රාජ්‍යයයි. 

මෙවන් පුවතක් පසුගිය සතියේ දී Belarus රාජ්‍යයෙන් ද වාර්තා වූයේ යුරෝපයේ අනෙක් පාපන්දු තරගාවලි සියල්ලම කල් යද්දී ඔවුන් සුපුරුදු පරිදි සිය තරගාවලි පවත්වා ගෙන යාමත් සමඟයි. 

මධ්‍යම අප්‍රිකාවේ පිහිටා ඇති වර්ග කි. මී. 27,834ක භූමි ප්‍රමාණයකින් යුතු කුඩා රාජ්‍යයක් වන බුරුන්දි හි තවමත් ‘Coronavirus’ ආසාදිත එකඳු රෝගියෙකු හෝ වාර්තා වී නොමැති අතර ඒ අනුව එය එම වයිරසයට තවමත් ගොදුරු වී නැති රටවල් අතළොස්ස අතරින් එකකි. මෙම තත්වය තුළ ඔවුන් තවමත් පාපන්දු තරග පමණක් නොව ඔවුන්ගේ රට තුළ සිදුවන අනෙක් කටයුතු ද දැඩි සීමාවලින් තොරව සුපුරුදු පරිදි සිදු කරගෙන යන බව වාර්තා වේ. 

ඒ අනුව පසුගිය සති අන්තයේ දී එරට පිරිමි ජනාධිපති කුසලාන තරගාවලිය සහ දෙවන කාණ්ඩයේ තරග සහ කාන්තා පළමු කාණ්ඩ දෙකේම තරග සැලසුම් කර තිබූ පරිදි පවත්වන්නට කටයුතු කෙරුණේ පාපන්දු ලෝලීන් විශාල ප්‍රමාණයකගේ ද සහභාගීත්වය ඇතිව ය. මේ පිළිබඳව අදහස් දක්වමින් එරට පාපන්දු සම්මේලනයේ ලේකම් Jeremie Manirakiza ප්‍රකාශ කර සිටියේ;

“අපි රජය අරගෙන තියෙන ක්‍රියාමාර්ගවලට ගරු කරනවා. මම හිතන්නේ මෙතන ගැටලුව තියෙන්නේ ගෝලීය වශයෙන් මේ තත්වයට ප්‍රතිකාර කරන එකේ. ගොඩක් රටවල් වල ආගමික එක්වීම් පවා නවත්තලා තියෙනවා. නමුත් බුරුන්දියේ සුපුරුදු විදිහට ඒවා ක්‍රියාත්මක වෙනවා. මෙහේ තාම එක රෝගියෙක් වත් වාර්තා වෙලා නැහැ. මම හිතනවා ඒ නිසා මේකට තවත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියලා.”

ඒ අනුව එරට පාපන්දු තරග සුපුරුදු පරිදි පවත්වා ගෙන යාමට ඔවුන් ගෙන ඇති තීරණය රට තුළ පිරිස් එක්වන සම්මේලන, රැස්වීම්, විවාහ උත්සව සහ අනෙක් විවිධ විනෝද කටයුතු ද දැඩි සීමාවලින් තොරව පැවැත්වීමට එරට රජය ගෙන ඇති තීරණයට සමගාමී වේ. 

තවදුරටත් පාපන්දු ක්‍රීඩාවට අමතරව එරට පැසිපන්දු, වොලිබෝල් සහ beach soccer ක්‍රීඩාවන් ද සැලසුම් කර තිබූ පරිදි ඔවුන් පවත්වා ගෙන යනු ලබයි. කෙසේ නමුත් ‘Coronavirus’ තත්වයේ ඇති බලපෑම පිළිබඳව ඔවුන් දැඩි අවබෝධයෙන් සිටින අතර එය රට තුළට ඇතුළුවීම වැළැක්වීමට ඔවුන් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. 

ඒ අනුව රට තුළට වෙනත් රටවල්වලින් මිනිසුන් ඇතුළුවීම දැඩි ලෙස සීමා කිරීමට ඔවුන් කටයුතු කර ඇති අතර රට තුළට පැමිණෙන කුඩා ප්‍රමාණය ද දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතුය. 

එමෙන්ම එරටට ඇතුළු වන ගුවන් යානා ද භාණ්ඩ රැගෙන එන ගුවන් යානාවලට පමණක් සීමා කර ඇත. තවදුරටත් එරට කතෝලික පල්ලිය ද ජනතාව දැනුවත් කරමින් පවසා ඇත්තේ යාච්ඤා කටයුතුවලට පැමිණෙන ජනතාව එකිනෙකා ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතු බවත් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්‍ෂණ ඇති අය ඒවා සඳහා පැමිණීමෙන් වැළකී සිටිය යුතු බවත් ය. 

පාපන්දු තරග සුපුරුදු පරිදි පැවැත්වීමේ තීරණය පිළිබඳ අදහස් දක්වමින් එරට ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති Liliane Nshimirimana ප්‍රකාශ කර සිටියේ;

“මෙහේ තාම එක රෝගියෙක් වත් වාර්තා වෙලා නැති නිසා ක්‍රීඩා කටයුතු ඇතුළු අනෙක් හැම කටයුත්තක් ම සුපුරුදු විදිහට පවත්වා ගෙන යන එක නවත්තන්න වෙන හේතුවක් නැහැ. අපිට හිතෙනවා අපි ආරක්‍ෂිතයි කියලා. මෙහේ ඉන්න ක්‍රීඩකයෝ හැමෝම සම්මේලනය අරන් තියෙන තීරණයට එකඟ වෙලා ඉන්නේ. ඒ අනුව ඔවුන් සුපුරුදු පරිදි ක්‍රීඩා කරනවා. ඒ අනුව රට ඇතුළේ ඉන්න අපිට මේ පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. අපි හැමෝගෙම තීරණය තමයි බය නොවී කලබල නොවී අපේ කටයුතු පුරුදු විදිහට ම කරගෙන යන්න ඕනේ කියන එක.”

තවත් කියවන්න;

කෙසේ නමුත් මෙම තීරණයට විරුද්ධව ද මත රාශියක් ඉදිරිපත්ව ඇති අතර එවන් අදහසක් පළකරමින් එරට ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන, මේ වනවිට ‘Zambia’ රාජ්‍යයේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින Laudit Mavugo ප්‍රකාශ කර සිටින්නේ;

“ඔවුන් පවසන්නේ එහේ ‘Coronavirus’ තත්වය නැහැ කියලා. නමුත් මම නම් එහෙම හිතන්නේ නැහැ. අනිවාර්යයෙන් එහෙනුත් ආසාදිත රෝගීන් වාර්තා වෙලා තිබිය යුතුයි. නමුත් මම දන්නේ නැහැ ඔවුන් එහෙම නැහැ කියන්නේ කියලා. ඒක හරි පුදුම යි. අනිවාර්යයෙන් මම මගේ රට ගැන බයෙන් ඉන්නේ. මගේ පවුලේ අයත් තාම ඉන්නේ එහේ. හැමෝම කියන්න දෙවියන් වහන්සේ රට ආරක්‍ෂා කරයි කියලා. නමුත් ඒක මේ විදිහට දිගින් දිගට ම ක්‍රීඩා කරන්න හොඳ හේතුවක් නෙමෙයි.”

කෙසේ නමුත් ඉදිරියේ දී තරග කල් දැමීමට තීරණයක් ගන්නේ නම් එය අදාළ සම්මේලන තුළින් ම ගනු ඇති අතර ඒ සඳහා එරට තීරණ ගැනීමේ විශාල බලයක් හිමිව ඇති කතෝලික පල්ලියේ තීරණ සහ ක්‍රියාමාර්ග ද ඉවහල් වනු ඇති බව නොඅනුමාන ය.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<