LPL විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචිය දීර්ඝ කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

824

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2022 තරග වාරය සඳහා විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ අවසන් දිනය දීර්ඝ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) අද (21) නිවේදනය කළා.

ඒ අනුව මෙම වසරේ පැවැත්වීමට නියමිත LPL හි 3 වැනි සංස්කරණය සඳහා ලියාපදිංචි වීමට කැමති විදේශීය ක්‍රීඩකයින්ට 2022 ජුනි 28 දිනට හෝ ඊට පෙර ඔවුන්ගේ නම් ඉදිරිපත් කළ හැකි වනවා.

මෙලෙස විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීමට තීරණය කර ඇත්තේ ක්‍රීඩකයින් සහ ලංකා ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම් හිමිකරුවන්ගේ ඉල්ලීම් කිහිපයක් අනුව බව වාර්තා වනවා.

මීට පෙර ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය 2022 ජුනි 23 වැනි දින අවසන් කිරීමට සැලසුම් කර තිබුණා. මෙම දීර්ඝ කිරීම සමඟින්, ක්‍රීඩකයින්ට ලබා දී ඇති සබැඳිය භාවිතා කර (https://srilankacricket.lk/lpl-player-registration) ජුනි 28 වැනි දින ප.ව.12:00ට හෝ ඊට පෙර තම නම් ඉදිරිපත් කළ හැකි වනවා.

මෙවර තරගාවලිය සඳහා එක්වන විදේශීය ක්‍රීඩකයින් කාණ්ඩ කීපයක් යටතේ ලියාපදිංචි කිරීමට නියමිතයි. ඒ අනුව ඔවුන් International Ruby, International Sapphire, International Diamond A, International Diamond B, සහ International Platinum යන කාණ්ඩ කිහිපයක් යටතේ ලියාපදිංචි කරනු ඇති.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<