ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාපන්දු තරගාවලිය වන ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය අගෝස්තු 27 දින සිට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙන අතර, මෙරට පාපන්දු ක්‍රීඩාවේ අභිමානවත් කිරුළ අත්පත් කරගැනීම සඳහා A හා B ලෙස කාණ්ඩ දෙකක් යටතේ දක්ෂතම කණ්ඩායම් 4ක් බැගින් කණ්ඩායම් 8ක් එකිනෙකා සමඟ තරග වැදීමට නියමිතයි. සුපිරි 8 දෙනාගේ වටය අාරම්භ කරමින් ප්‍රථම තරගය, රිනවුන් සහ බ්ලූ ස්ටාර් කණ්ඩායම් අතර කොළඹ තුරඟ තරග පිටියේ දී විදුලි ආලෝකය මධ්‍යයේ ප. ව. 6.00 ට ආරම්භ කිරීමට නියමිතයි.

පසුගිය ලිපි: 10වැනි සතියේත් යුද හමුදාව පෙරමුණේ

නිමාවුනු සුදුසුකම් ලබා ගැනීමේ වටය අවසානයේ දී, A කාණ්ඩයේ ප‍්‍රථමයා ලෙස යුද හමුදා ක්‍රීඩා සමාජය පෙරට පැමිණි අතර, සොලිඩ් ක්‍රීඩා සමාජයට දෙවන ස්ථානය ද, කොළඹ පාපන්දු සමාජයට තුන්වන ස්ථානය ද හිමි වු අතර මීගමුව යූත් ක්‍රීඩා සමාජය සමග තියුණු තරගයකින් පසු බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සිව්වන ස්ථානය ද හිමි කර ගන්නා ලදි.

B කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානය රිනවුන් ක්‍රීඩා සමාජයට හිමි වූ අතර දෙවන ස්ථානය නිව් යංග්ස් ක්‍රීඩා සමාජයට හිමි විය. තුන්වන ස්ථානය හිමි වූයේ නාවික හමුදා ක්‍රීඩා සමාජයටයි. සිව්වන ස්ථානය ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට හිමි විය.

අද පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ‘‘සුපිරි 8 දෙනාගේ වටයට තේරුණු කණ්ඩායම් විසින් සාක්ෂාත් කරගන්නා ලද පාපන්දු ක්‍රීඩාවේ ගුණාත්මකභාවය හා ප‍්‍රමිතිය නිසා පසුගිය වසරේ දී වර්ධනය කරගැනීමට හැකි වූ අවකාශය ගැන අප ඉතා සතුටට පත් වෙනවා.

 සුපිරි 8 වටයේ තරග කාල සටහන සදහා පිවිසෙන්න 

2016 වසරේ දී ක්‍රීඩා කණ්ඩායම් ගණන 22 සිට 18 දක්වා අඩු කිරීමට අප කටයුතු කළා. එම කණ්ඩායම් වඩාත් හොඳින් දක්ෂතා ප‍්‍රදර්ශනය කරන විට තරග නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන් ද වඩාත් අමන්දානන්දයට පත් වුණා.

අවසානයේ හොඳම කණ්ඩායම ලෙස ශූරතාව දිනාගැනීමට සියලූම කණ්ඩායම් වලට හැකිවේවායි කියා අප සුභ පතනවා.’’ යැයි හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

මෙරට ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විවිධ අයුරින් අනුග‍්‍රහකත්වය දක්වන ඩයලොග් අාසිඅාටා සමාගම, 11 වන වරටත් ශූරයින්ගේ පාපන්දු කුසලාන තරගාවලිය බලගන්වයි.

‘‘ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ සහකරුවකු වීමට ලැබීමත්, ජාතික වශයෙන් පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා සහයෝගය දැක්වීමට ලැබීමත් අප ලැබූ වරප‍්‍රසාදයක්.’’ යැයි මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඩයලොග් ආසිආටා සමාගමේ සන්නාම හා මාධ්‍ය පිළිබඳ සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක මහතා ප්‍රකාශ කරන ලදි.

2015 වසරේ ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලාන තරගාවලියේ දී කරට-කර තරගයකින් පසුව රිනවුන් හා යුද හමුදා ක්‍රීඩා සමාජයන් පරදවමින් ශූරතාවය දිනාගනු ලැබුවේ කොළඹ පාපන්දු සමාජය විසිනි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට