නැගීඑන පිටියේ කඳවුරු බැඳි ප්‍රවීණයෝ

ACC Men's Emerging Teams Asia Cup 2023

5651

2023 නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ ගමන් මඟ අවසන් පූර්ව වටයෙන් අවසන් වුනා.  

A කාණ්ඩය යටතේ තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව පළමු වටය අවසන් කළේ එහි පළමුවැනියා වෙමින් වූවත් ඔවුන්ගේ ගමන කුසලානය පෙනෙන මානයේ දී අවසන් කිරීමට පාකිස්තාන A ක්‍රීඩකයෝ සමත් වුනා 

ශ්‍රී ලංකා A කණ්ඩායම මෙම තරගාවලියේ දී බංග්ලාදේශය සහ ඕමානය පහසුවෙන් ම පරාජය කරනු ලබන අතර ඇෆ්ගනිස්තානය වෙතින් ලකුණු 11ක පරාජයක් ලබමින් පළමු වටය අවසන් කරනවා. කෙසේ වෙතත් තහවුරු කර ගත් ස්ථානය අනුව අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ එහි දී පාකිස්තාන A කණ්ඩායම වෙතින් පරාජයට පත් වෙනවා.  

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ගමන් මඟ 

  ප්‍රතිවාදීන්  ප්‍රතිඵලය  ක්‍රීඩාංගණය 
1  බංග්ලාදේශය A  ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 48ක ජයක්.  SSC 
2  ඇෆ්ගනිස්තාන A  ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට ලකුණු 11ක ජයක්.   CCC 
3  ඕමාන් A  ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 217ක ජයක්.   R. ප්‍රේමදාස 
අවසන් පූර්ව තරගය 
4  පාකිස්තාන A  පාකිස්තාන A කණ්ඩායමට ලකුණු 60ක ජයක්.   P. Sara Oval 

මෙම තරගාවලියේ දී දුටු සුවිශේෂීම කාරණය වූයේ කණ්ඩායමක ප්‍රබලත්වයට වඩා කණ්ඩායමක නාමය ඉදිරියේ අපේ ක්‍රීඩකයන්ගේ පසු බැසීමයි. මේ තරග අතරින් වඩාත් ම වැදගත් තරගය වූයේ පාකිස්තාන A කණ්ඩායම සමඟ වූ අවසන් පූර්ව තරගයයි.  

එම තරගයේ දී පාකිස්තානය ලකුණු 322ක් ලබා ගත් අතර අපේ ක්‍රීඩකයෝ තවත් පන්දු 26ක් ඉතිරිව තිබිය දී ලකුණු 262කට ඉනිම හමාර කර ගන්නවා. එහි දී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ අංක 5 පිතිකරු සහන් ආරච්චිගේ ලකුණු 97 බැගින් ලබා ගනිමින්  දක්ෂතා දැක්වූව ද, අනෙකුත් පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු සහගත සේවයක් කණ්ඩායමට ලැබුණේ නැහැ. 

එම තත්ත්වය ම පරාජිත ඇෆ්ගනිස්තාන A කණ්ඩායම හමුවේ ද සිදු වුනා. එහි දී මිනෝද් භානුක (119) සහ දුශාන් හේමන්ත (31) සාර්ථක වෙද්දී අනෙක් පිතිකරුවන්ගෙන් එවැන්නක් සිදු වූයේ නැහැ.  

එම තරග ද්විත්වයේ දී ම ශ්‍රී ලංකා A කණ්ඩායමට සිදු වූයේ පිතිකරුවන් දෙදෙනක්ගෙන් පමණක් යැපීමට සිදු වීමයි. 

නමුත් ජයග්‍රාහී බංග්ලාදේශ A සහ ඕමාන A කණ්ඩායම් අතර තරගවල දී පිතිකරුවන් වැඩි දෙනෙක් ම ලකුණු අතරට පිවිසීම වඩාත් වාසි සහගත වුනා. මේ අතරින් බංග්ලාදේශ A කණ්ඩායම සමඟ තරගයේ දී අප කඩුලු 8කට ලකුණු 349ක් ලබා ගන්නවා. එය මෙතෙක් මෙම තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

ඊට මඟ පෑදෙන්නේ කණ්ඩායම විසින් සුපෝෂිත පිතිකරු ලැයිස්තුවක් නිර්මාණය කිරීමට දායක වීමයි. එය අනෙකුත් තරගවල දී, විශේෂයෙන් ම තීරණාත්මක තරගයක් වූ පාකිස්තාන  A කණ්ඩායම සමඟ තරගයේ දී සිදු වූවා නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණා.  

පිතිකරුවන්ගේ සේවය ඒ ලෙසින් නිමා වෙද්දී පන්දු යවන්නෝ ද සිදු කළේ එම මඟ ම ගැනීමයි. එබැවින් එකී ඉරණම ඉතා ඉක්මනින් ම වැළඳ ගැනීමට සිදු වුනා.  

ශ්‍රී ලංකා A කණ්ඩායම සතුව ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් සතු වුණි ද ඔවුන්ට ද තීරණාත්මක පාකිස්තාන A කණ්ඩායම හමුවේ තම උපක්‍රම නිසි පරිදි ස්ථාන ගත කිරීමේ හැකියාවක් ලැබුණේ නැහැ. ඒ හේතුවෙන් ම ප්‍රතිවාදීන්ට ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට හැකි වුනා. 

එමෙන් ම මෙම තත්ත්වය ම බංග්ලාදේශය A කණ්ඩායම ඉදිරියේ ද දුටු අතර වාසනාවකට මෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කර තිබුණා. එය ශ්‍රී ලංකාවේ වාසියට හේතු වූ බැවින් පන්දු යවන්නන්ගේ දුර්වලතා මඟ හැරී යටපත් වුනා.  

තරගාවලියේ ලත් මේ ඉරණම අපේ ක්‍රීඩකයෝ තම තමන්ගේ දක්ෂතා අතර, අතරමං වීමක් හැර එහි අඩුවක් නොමැති බැව් අපට හැඟෙනවා. ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් විශ්වසනීයත්වයක් ගොඩ නගා ගැනීමට හැකි වූයේ නැහැ. එහි විපාකය වූයේ තරගාවලියේ තවත් එක් කඩඉමක් ඉතිරිව තිබිය දී තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීමයි.  

ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෝ 

අවිශ්ක ප්‍රනාන්දු 

එක්දින ජාත්‍යන්තර තරග 29ක දී සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 33ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති 25 හැවිරිදි වියේ පසුවෙන දකුණත් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගාවලියේ තරග 4ක ඉනිම් 4ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 255ක්. එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 63.75ක් 

ඔහුගේ ඉනිම් අතර බංග්ලාදේශ A කණ්ඩායමට එරෙහිව පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 133ක් ද ඇතුළත්. එය තරගාවලියේ මංගල ශතකය මෙන් ම තරගාවලියේ මෙතෙක් ක්‍රීඩකයෙක් විසින් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වුනා.   

අනතුරුව පාකිස්තාන A කණ්ඩායම සමඟ පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී දක්ෂතා අතරට පිවිසීමට අවිශ්ක සමත් වෙනවා. එවර ඔහු පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 97ක්.   

මිනෝද් භානුක 

ටෙස්ට් තරගයක්, එක්දින ජාත්‍යන්තර තරග 6ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5ක් ක්‍රීඩා කර ඇති මිනෝද් භානුක මෙම තරගාවලියේ දී තරග 4ක ඉනිම් 4ක දී පිටියට පිවිසෙන මිනෝද් භානුක ලකුණු 186ක් ලබා ගන්නවා. එහි ඉනිමක සාමාන්‍ය ලෙසින් දැක්වුණේ 46.5ක අගයක්.  

ඔහු ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට එරෙහිව පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 119ක් ලබා ගැනීමට සමත් වෙනවා. එය මිනෝද්ගේ List A පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද වාර්තා වුනා. ඊට අමතර ව ඔහු බංග්ලාදේශ A කණ්ඩායමට එරෙහිව ද අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.  

සහන් ආරච්චිගේ  

එක්දින ජාත්‍යන්තර වරම් දිනූ ශ්‍රී ලංකාවේ ආසන්නතමයා වන සහන් ආරච්චිගේ මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ තෙවැනි අසුන හිමිකර ගැනීමට සමත් වෙනවා. 27 හැවිරිදි වියේ පසුවෙන වමතින් පිතිකරණයේ යෙදෙන ඔහු තරග 4ක ඉනිම් 4ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 150ක්. එහි සාමාන්‍ය ලෙසින් දැක්වූණේ 37.5ක අගයක්.  

මෙම තරගාවලියේ ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ පාකිස්තාන A කණ්ඩායමට එරෙහිව පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 97යි. එය ඔහුගේ List A පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද වාර්තා වුනා. 

ඔවුන්ට අමතර ව 23 වැනි වියේ පසුවෙන දකුණත් ඉදිරි පෙළ පිතිකරු පසිඳු සූරියබණ්ඩාර තරග 4ක ඉනිම් 4ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 113ක් ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 82ක් ද ලබා ගනිමින් පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක්වුනා.  

චාමික කරුණාරත්න 

ටෙස්ට් තරගයක්, එක්දින ජාත්‍යන්තර තරග 23ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 42ක අත්දැකීම් ඇති චාමික කරුණාරත්න මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලු ලාභී ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වුනා. ඔහු තරග 4ක දී පන්දුවාර 25ක් යවමින් කඩුලු 9ක් දවා ගන්නවා. 

ඒ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වුයේ ඕමාන් A කණ්ඩායමට එරෙහිව ලකුණු 3කට දවා ගත් කඩුලු 3යි. එය මෙම තරගාවලියේ ශ්‍රී ලාංකීය පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුනා. 

මෙම තරගාවලියේ චාමික List A පිටියේ කඩුලු 100ක් දවා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවට එක් වීමට ද සමත් වුනා.  

ප්‍රමෝද් මදුශාන් 

එක්දින ජාත්‍යන්තර තරගයක දී සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 8ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති 29 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මද වේගපන්දු යවන ප්‍රමෝද් මධුශාන් මෙම ලැයිස්තුවේ දෙවැනියා බවට පත් වුනා. ඔහු තරග 3ක දී පන්දුවාර 21.3ක් යවමින් කඩුලු 7ක් දවා ගනිමින් මෙම ස්ථානය තහවුරු කර ගත්තා.  

ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ බංග්ලාදේශ A කණ්ඩායමට එරෙහිව ලකුණු 50කට දවා ගත් කඩුලු 3යි.  

ලහිරු සමරකෝන් 

දකුණතින් වේගපන්දු යවන 26 වැනි වියේ පසුවෙන ලහිරු සමරකෝන් මෙම තරගාවලියේ තරග 3ක දී පන්දුවාර 19ක් යවමින් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6ක්. එම දක්ෂතාව පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ වාර්තා වූයේ තෙවැනි ස්ථානයටයි.  

ඊට අමතර ව දුනිත් වෙල්ලාලගේ (5), දුශාන් හේමන්ත (5) සහ සහන් ආරච්චිගේ (4) පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා. 

තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා ගත් අතර එම තරගය මේ මස 23 වැනි ඉරිදා දිවාරාත්‍රි තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

එම තරගයේ දී උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින් ම.  

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<