පාපන්දුව අවුල් ජාලයක: සුපර් 8 කල් යයි

421
Dialog Champions League 2016

චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ සංවිධාන කටයුතුවල සිදුවූ යම් ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මේ වන විට අවුල් ජාලයක පැටලී ඇත. මේ අනුව අනිද්දා (27) ආරම්භ කිරීමට නියමිතව තිබු මෙම තරගාවලියේ සුපර් 8 වටය කල් දැමීමට ඔවුන් පියවර ගෙන ඇත.

පසුගිය ලිපි: පාපන්දු ශූරයාට ඇමතිගේ අවධානය

ඊයේ සවස (අගෝස්තු 24 වන බදාදා) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වූයේ,

”2016 අගෝස්තු මස 27 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබු චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපර් 8 වටය, නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල් දමා ඇති බව කරුණාවෙන් සලකන්න. නව තරග කාල සටහන පිලිබඳ ඉදිරියේදී දැනුම් දීමට බලාපොරොත්තු වෙමු.” ලෙසයි.

ThePapare.com වෙත පසුගිය සඳුදා (අගෝස්තු 22) ලද විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබු කොළඹ තුරග තරග පිටියේ සේවකයන් පවා මෙම සති අන්තයේ චැම්පියන්ස් ලීග් සුපර් 8 වටයේ තරග පැවැත්වෙන බව නොදැන සිටි බව වාර්තා වෙයි.

”මෙම තරගාවලිය සඳහා මීට පෙර අපි තුරග තරග පිටිය වෙන් කරගනිමින් ඉදිරි සැලසුම් සියල්ල සකස් කළා. නමුත් එම ක්‍රීඩාංගනයේ පරිපලන ආයතනය වන නාගරික සංවර්ධන අධිකාරියෙන් (UDA) අපට පසුව දැනගන්නට ලැබුනේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ක්‍රීඩාංගනය වෙන් කරගන්නා විටත් වෙනත් පිරිසක් විසින් තුරග තරග පිටිය මෙම සති අන්තය සඳහා වෙන් කරගෙන තිබී ඇති බවයි. කෙසේනමුත් සන්නිවේදන දෝෂයක් හේතුවෙන් ඒ බව පාපන්දු සම්මේලනයට දැන ගැනීමට ලැබිලා නැහැ.” යැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී ජස්වර් උමාර් මහතා ThePapare.com වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මෙම ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමට පෙර පසුගිය සතියේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් චැම්පියන්ස් ලීග් සුපර් 8 වටයේ තරග කාල සටහන එළිදක්වන්නට පියවර ගත් අතර එහි පැහැදිලිවම සඳහන් වූයේ පළමු සති අන්ත දෙකේ තරග කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වෙන බවයි.

ඇතිවී තිබෙන තත්ත්වයත් සමග තරගාවලියේ ඉදිරි තරග කෙසේ පැවැත්වීමට සැලසුම් කරනවාද? යන්න පිලිබඳ ThePapare.com විමසීමක් කල අතර ඊට පිළිතුරු ලෙස පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක වරයා පවසා සිටියේ,

”අපි බලාපොරොත්තු වෙනවා සුපර් 8 වටයේ තරග ඊළඟ සති අන්තයේ ආරම්භ කිරීමට, ඒ කියන්නේ සැප්තැම්බර් 3 වැනිදා. නමුත් අපි දැන් ඉන්නේ ඉතාම සීමා සහිත කාල රාමුවක් තුල. ඉදිරියේදි ජාතික මහා ක්‍රීඩා උළෙල වගේම ජාතික පාපන්දු කණ්ඩායමේ කාම්බෝජියා තරග සංචාරයත් පැවැත්වෙනවා. අපි සැලසුම් කළේ මේ දේවල් ආරම්භ වෙන්න කලින් සුපර් 8 වටය අවසන් කරන්නයි. නමුත් මේ තිබෙන තත්ත්වයත් සමග ඒ සියල්ල එකම කාලයක් තුල පවත්වන්න සිදුවෙනවා.”

”අපිට තෝරාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දැනටත් ඉතාම කාර්ය බහුල තරග කාල සටහන තවත් අඩු කාලයකට සකස් කිරීම. නමුත් කිසිදු විවේකයක් නොලැබෙන ඒ වගේ තරග කාලසටහනක් ක්‍රීඩකයන්ට ඉතාම අහිතකර වීම නිසා එම තීරණය ගැනීමට ඇත්තේ ඉතාම අඩු ඉඩකඩක්. දෙවැනි ක්‍රමය තමයි, සති 3 – 4ක් තරග පැවැත්වීමෙන් අනතුරුව කාම්බෝජියා තරග සංචාරය සඳහා සති දෙකක විවේක කාලයකින් පසුව යලිත් ඉතිරි තරග ආරම්භ කිරීමයි. අපි මේ පිලිබඳ අවසන් තීරණය සිකුරාදා (හෙට) ගැනීමට නියමිතයි.” යැයි ජස්වර් උමාර් මහතා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මෙවන් තීරණ හේතුවෙන්, පසුගිය සතියේ නිකුත් කළ ඉතාම කාර්යබහුල තරග කාලසටහන් වලට අනුගත වීම සඳහා  ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩකයන් සිදුකළ සැලසුම් සියල්ල වරින් වර වෙනස් කිරීමට සිදුවීම නම් අතිශය කනගාටුවට කරුණකි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට