‘දෙයියන්ගෙ බැට් එක’

7455
©AFP

2019ට පෙර 1986 වසරේ දී ද ලෝක කුසලාන තරගාවලියක් පැවැත්විය. ඒ පාපන්දු ලෝක කුසලාන තරගාවලියයි. ආජන්ටිනාව සහ එංගලන්තය අතර පැවැත්වුණු අර්ධ අවසන් පූර්ව තරගය ආජන්ටිනාව විසින් ජය ගත්තේ ‘දෙයියන්ගේ හස්තයේ’ (Hand of god) පිහිටෙනි. එදා එංගලන්තය පැත්තේ නොසිටි දෙවියන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී එංගලන්තය වෙනුවෙන් පෙනී සිටි ආකාරය පුදුම සහගතය.

දෙයියන්ගේ හස්තය?

‘Hand of god’ යන යෙදුම පාපන්දු ජනවහරට එක්වූයේ 1986 පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ දීයි. එංගලන්තයට එරෙහිව ආජන්ටිනාව තරග වැදුණු එහි දී ගෝල 2-1ක් ලෙස ජය ගත්තේ ආජන්ටිනාවයි. සුපිරි ප්‍රහාරක ඩියාගෝ මැරඩෝනා විසින් වාර්තා කළ ආජන්ටිනාවේ පළමු ගෝලය වාර්තා වූයේ හිසින් නොව අතිනි. එංගලන්ත ආරක්ෂක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හැරෙන්නට වෙනත් කිසිවෙකු සිද්ධිය පැහැදිලිව දුටුවේ නැත.

ඔවුන් විනිසුරු සමඟින් විවාද කළත් දෙවියන් සිටියේ ආජන්ටිනාව පැත්තේය. ගෝලය ආජන්ටිනාව වෙත එක්වූ අතර ඉන් මිනිත්තු 4කට පසුව මැරඩෝනා විසින් දෙවැනි ගෝලය විශිෂ්ට අයුරින් වාර්තා කළේ දෙවියන් විසින් දුන් වරම අපතේ නොහරිමිනි. ඒ වරම කෙතරම් තීරණාත්මක වූයේ ද කියතොත් 1986 ලෝක ශූරයන් වීම දක්වා ආජන්ටිනාව ඉදිරියට ගියේය. අවසන් මහා තරගයේ දී ඔවුන් අතින් ගෝල 3-2ක් ලෙස පරාජය වූයේ බටහිර ජර්මනියයි. 1978න් පසුව දහසක් බලාපොරොත්තු මැද වැටෙමින් නැගිටිමින් ආ මැරඩෝනා ඇතුළු ආජන්ටිනා කණ්ඩායම එවර ලෝක ශූරයන් වූ ආකාරය ගැන අද කිසිවෙකුට ගැටලුවක් නැත. වාසනාව ලැබිය යුතු වන්නේ සුදුස්සාට ය.

දෙයියන්ගේ බැට් එක?

බෙන් ස්ටෝක්ස් දෙස දෙවියන් නොබැලුවේ නම් එය පුදුමයකි

අපි එයට ‘Bat of god’ යැයි කියමු. 2019 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය ඇඟේ මයිල් කෙළින් වන තරමේ උද්වේගකර එකක් විය. දෙවනුව පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තයට ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 15ක් අවශ්‍ය විය.

පිටියේ ස්ථාවරව සිටි බෙන් ස්ටෝක්ස් වේගයෙන් ලකුණු රැස්කරමින් සිටියත්, ලෝක කුසලාන අවසන් මහා තරගයක පීඩනය ඔහු වෙතට හැරෙමින් තිබුණි. පළමු පන්දු දෙකම ලකුණු නොලබා අවසන් විය. ජයග්‍රහණය සඳහා පන්දු 4ක දී ලකුණු 15ක් අවශ්‍ය විය. ගණිතමය වශයෙන් එය සරලය. මීළඟ පන්දුවේ දී හතරේ හෝ හයේ පහරක් එල්ල කිරීම අනිවාර්ය විය. බෙන් ස්ටෝක්ස්, මිඩ් විකට් හරහා වේගවත් හයේ පහරක් එල්ල කළේය.

බෙන් ස්ටෝක්ස්, මිඩ් විකට් හරහා වේගවත් හයේ පහරක් එල්ල කළේය

දැන් සමීකරණය පන්දු 3ක දී ලකුණු 9කි. එක් පන්දුවකට ලකුණු 3 බැගින් පන්දු තුනකටම ලකුණු 3 බැගිනි. මීළඟ පන්දුව ෆුල් ටොස් පන්දුවකි. පන්දුව මිඩ් විකට් හරහා ඇදී යන්නේ නවසීලන්ත කණ්ඩායමේ දක්ෂ පන්දු රකින්නන් අතුරින් අතිදක්ෂයෙකු අතටයි. ඒ මාටින් ගප්ටිල්. ඔහු විසින් පන්දුව නැවත භාර කරන විට දෙවැනි ලකුණ සඳහා දිවයමින් සිටින බෙන් ස්ටෝක්ස් බිම දිගේ ඇදී යමින් සීමාව සලකුණු කරද්දී, පන්දුව පිත්තේ වැදී හතරේ සීමාව කරා ඇදී ගියේය. ඔවුන්ට ලකුණු හයක් හිමි විය. ලකුණු දෙකක් හෝ එකක් පමණක් ලැබීමට තිබූ අවස්ථාවේ දෙවියන් පිත්ත අතට ගෙන සියල්ල වෙනස් කළේය.

මීළඟ පන්දු දෙකේ දී ලකුණු තත්වය සම කළ එංගලන්ත ක්‍රීඩකයන් සුපිරි පන්දුවාරයක දී තරගය ජයග්‍රහණය කරමින් සිය කුළුඳුල් ලෝක කුසලානයේ පහස ලැබීය. නොදැන පිත්තේ වැදී හතරේ සීමාව වෙත ඇදී ගිය පන්දුවට ලැබුණු ලකුණු තත්වය ගැන වාද විවාද ඇතිවුනත්, එංගලන්තය දැන් ක්‍රිකට් ලෝක ශූරයන්ය.

වාසනාව ඇදී එන්නේ නිර්භීතයා දෙසට ය

ඉංග්‍රීසි භාෂාවේ “Fortune favors the brave” යනුවෙන් කියමනක් ඇත. ඔබ නිර්භය නම්, ඔබ අවදානමට නොබියව මුහුණ දෙන්නෙකු නම් වාසනාව පැමිණ සියල්ල වෙනස් කරයි. එනම් සොබාදහම ඔබ වටා ශක්තිය ගොඩ නගනු ලබයි. දෙවියන් වන්නේ ඒ සොබාදහම ය.

තරග දිනවන්නන් සියල්ල Legendsලා නොවේ!

නරක දිනයක දී ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සියල්ල නරකට ……

එදා ඒ සිදුවීම වන විට අධි පීඩනය මැද එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 76ක් ලබා සිටි බෙන් ස්ටෝක්ස් හට ඒ වාසනාව හිමි වීම පුදුමයක් නොවේ. ඔහු පිටියට පිවිසෙන විට එංගලන්ත කණ්ඩායම සිටියේ ජය ගත හැකි මට්ටමක නොවේ. එහෙත් ඔහු තරග අවසානය තෙක් සටන අත් නොහැරියා සේම, ඔහු ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත සංචිතය දක්වා ආ ගමන ද නිර්භය සහ උත්සාහවන්ත එකකි.

2016 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ එංගලන්තය වෙනුවෙන් අවසන් පන්දුවාරයේ දී ලකුණු 18ක් රැක ගැනීමට නොහැකිවූ තරුණයා බෙන් ස්ටෝක්ස් ය. පසුව රාත්‍රී සමාජ ශාලාවක් අසල දී බීමත්ව ඇතිවූ ගැටුමක් අතරතුර වෙනකෙකුගේ හකු ඇටයක් කැඩෙන්නට පහර දී ක්‍රිකට් තහනමකට ලක්වූයේ ද ඔහුම ය. එහෙත් ඔහුට ඉලක්කයක් තිබුණි. එනම් ක්‍රිකට් ඉතිහාසය තුළ “හක්කක් තැලූ බේබද්දා” වශයෙන් ප්‍රසිද්ධ නොවී, “ලෝක කුසලානයක් එංගලන්තයට ගෙන ආ තුන් ඉරියව්වා” වීම ය.

Video – එංගලන්තයේ තුන් ඉරියව් “ගල්පාත” – Andrew Flintoff

වේගපන්දු යවන, පන්දුවට පහර දෙන, හොඳින් පන්දු රකින …

එසේ වැරදි නිවැරදි කරගෙන, උත්සාහයෙන් තම ඉලක්කය වෙතම ඇදී ගිය බෙන් ස්ටෝක්ස් දෙස දෙවියන් නොබැලුවේ නම් එය පුදුමයකි. සොබාදහම එවැනි පුදුමාකාර නිර්මාණයකි. අවසන් වශයෙන් කිවහැකි වන්නේ ක්‍රීඩකයෙකු උත්සාහවන්ත වන්නේ නම්, “දෙයියොත් ගහයි බැට් එකෙන්” කියා ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<