කඩුල්ල පසුපස ඩියුටිය චන්දිමාල්ට යාවි – ශ්‍රී ලංකා – පකිස්තාන් ක්‍රිකට් සංචාරය

137

ලබන 17 වැනිදා ආරම්භ වන පකිස්තාන් – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තමන් ඇතුළු කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බව පැවසූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තම සංචිතය තුළ කඩුලු රකින්නන් 4 දෙනකු ඇතුළත්ව සිටින බවත් බොහෝ විට කඩුලු රැකීමේ කාර්ය දිනේෂ් චන්දිමාල්ට පැවරෙනු ඇති බවත් කීය.


ඔහු මේ අදහස් පළ කර සිටියේ පකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් “ලෝක කුසලානයෙන් පස්සෙ අපිට තරමක් දීර්ඝ විවේකයක් ලැබුණා.

එම නිසා අපිට පහුගිය කාලය තුළ වැඩි වශයෙන් පුහුණුවීම් කටයුතු වල නියැළෙන්නට අවස්ථාව හිමිවුණා. අපේ සැලසුම් ක්‍රියාත්මක කරල සාර්ථකව තරගාවලිය නිමාකරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්ද පැවසීය. එහිදී පසුගිය ශ්‍රී ලංකා ‘ඒ’ හා පකිස්තානු ‘ඒ’ තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් ජනිත්ට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබේදැයි ඇසූ පැනයකට පිළිතුරු දුන් මැතිව්ස් පවසා සිටියේ කුසල් 15 දෙනාගේ සංචිතය තුළ සිටින බවත්, අවසන් 11 දෙනා තෝරාගැනීමේදී කුසල් ජනිත් ක්‍රීඩා කරාවිද යන්න නිශ්චිතවම කීමට අපහසු බවත්ය.

තවද මාධ්‍ය හමුවට එක්වෙමින් පකිස්තානු කණ්ඩායමේ නායක මිස්බා උල් හක් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාව තුළදී පරාජය කිරීම ඉතා අපහසු බවත් ගියවර ඔවුන් ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදීත් දරුණු පරාජයක් අත්විඳීමට සිදුවූ බැවින් මෙම තරගාවලියට සාර්ථකව මුහුණදීමට බලාපොරොත්තු වන බවයි.