හයේ පහරේ සැරට කාර් කුඩු!

393

2011 වසරේ දී එංගලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය පළමු වටයෙන්ම බොඳ කර දැමූ අයර්ලන්ත කණ්ඩායමේ ප්‍රවේගකාරී මැද පෙළ පිතිකරු කෙවින් ඕ’බ්‍රයන් හට පසුගිය දිනක ඔහු කිසිවිටෙකත් අපේක්ෂා නොකළ හාස්‍යජනක අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

UAE ගිය චෙන්නායි ක්‍රීඩකයින්ට කොරෝනා!

Leinster lightning කණ්ඩායම සහ North West Warriors කණ්ඩායම අතර ඩබ්ලින් හී ක්‍රියාත්මක වූ තරගයක් අතරතුර පන්දුවට පහර දෙමින් සිටි කෙවින් එල්ල කළ දැවැන්ත හයේ පහරක් ක්‍රීඩා පිටියෙන් ඉවතට ඇඳී ගොස් තිබෙන්නේ ක්‍රීඩාංගණයෙන් පිටත නවතා තිබුණු ඔහුගේම කාර් රථයේ පසුපස වීදුරුව පසාරු කරමිනි.

කඩින් කඩ ඇඳ හැළුණු වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසාවෙන් පන්දුවාර 12කට තරගය සීමා කිරීමට විනිසුරුවන් පියවර ගත් අතර දිනය අවසානයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 24කින් තම ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටි Leinster කණ්ඩායම තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට සමත් විය. එහි දී Leinster කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් දියත් කළ කෙවින් ඕ’බ්‍රයන් වේගවත් ලකුණු 82ක් රැස් කළේ පන්දු 37ක් පමණක් වැය කරමිනි.

කොරෝනා එක්ක T20 ලෝක කුසලානය තියන්න පුළුවන් ද?

කෙවින්ගේ ප්‍රවේගකාරී ඉනිම දැවැන්ත හයේ පහර අටකින් වර්ණවත්වී තිබූ අතර ඉන් ඔහු එල්ල කළ එක් හයේ පහරකින් පිටියෙන් ඉවත ගාල්කොට තිබූ ඔහුගේම ටොයෝටා රථයේ පසුපස වීදුරුවට දැඩි ලෙස අලාභ හානි වී තිබූ බව වාර්තා වේ. ප්‍රතිවාදී Warriors ක්‍රීඩකයින් පිළිතුරු ඉනිම දියත් කරමින් අපහසු ඉලක්කය වෙත ළඟා වීමට උත්සාහ දැරුවත් Leinster ක්‍රීඩකයින්ගේ දක්ෂ පන්දුකරණය හමුවේ ඔවුන්ගේ එම වෑයම ව්‍යර්ථව තිබුණි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<