ඉසුරු උදාන නැවතත් Bangla Tigers කණ්ඩායමට

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය 2021-22

1332
Isuru Udana

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන තවදුරටත් Bangla Tigers කණ්ඩායම තුල රඳවා ගැනීම සඳහා එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර මේ වසරේ නොවැම්බර් 19 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

උදාන පසුගිය ඉන්දීය තරගාවලියට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සඳහා සමුදෙමින් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා වැඩි අවධානය ලබා දීමට කටයුතු කළා. පසුගිය දා නිමාවුණු Caribbean Premier League ක්‍රිකට් තරගාවලියේ දී උදාන නියෝජනය කළේ Trinbago Knight Riders කණ්ඩායමයි.

එම තරගාවලියේ අවසන් පූර්ව තරග වටය දක්වා පැමිණීම සඳහා උදාන දැක්වූ තුන් ඉරියව් දස්කම් Trinbago Knight Riders කණ්ඩායමට විශාල සවියක් වුනා.

ඔහු එම තරගාවලියේ දී තරග 7ක් ක්‍රීඩා කරමින් කඩුලු 11ක් දවා ගැනීමට සමත් වුනු අතර පන්දු යැවීමේ දී ඔහු සිය හොඳම දස්කම ප්‍රදර්ශනය කරමින් ලකුණු 21කට කඩුලු 5ක් දවා ගන්නට සමත් වුනා.

2021-22 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන කණ්ඩායම් 8 අතරින් Bangla Tigers මෙවර තරග වාරය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. Faf du Plessis ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා වන අතර ඔහු මෙවර Bangla Tigers කණ්ඩායමේ නායකත්වය දැරීමට ද නියමිතයි.

ඊට අමතරව Johnson Charles, Andre Fletcher, Chirag Suri සහ Qais Ahmad යන ක්‍රීඩකයින් Bangla Tigers නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් ලෙස දැනට තෝරාගෙන තිබෙන අතර Stuart Law මෙවර Bangla Tigers කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

අබුඩාබි T10 තරගාවලියේ අවසන් අදියරේ දී තිලි​ණ කණ්ඩම්බිගේ පුහුණුකාරීත්වයෙන් තරග කළ Bangla Tigers කණ්ඩායමට දිනා ගැනීමට හැකි වුනේ 5 වැනි ස්ථානය වන අතර මතීෂ පතිරණ ද එම කණ්ඩායම නියෝජනය කළා.

උදාන පසුගිය තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා Bangla Tigers විසින් තෝරාගෙන තිබුණු නමුත් NOC ගැටලුවක් නිසාවෙන් ඔහුට එම තරග වාරය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<