බංගලි ව්‍යාග්‍රයන්ගේ කුළුඳුල් ලෝක කුසලාන ජයග්‍රහණය මෙය වේවි ද?

223

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට සියලුම කණ්ඩායම්වල සංචිත නම් කොට අවසන්. ඒ සඳහා සහභාගී වන කණ්ඩායම් අතරින් ලොව නැගී එන කණ්ඩායමක් ලෙසින් බංග්ලාදේශයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.

පාකිස්තානුවන්ගේ මෙහෙයුමෙන් කුසලානය ඔවුන් ඩැහැගනී ද?

නොබෝ දිනකින් ඇරඹීමට නියමිත 12 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මේ වන විට කටයුතු…

මෙම බංග්ලාදේශය කණ්ඩායම එසේ ඉදිරියෙන් ඔසවා තැබිය හැකි ප්‍රධානතම හේතු සාධකය වන්නේ අවසන් වසර 7 තුළ ඔවුන් අත්පත් කර ගත් ජයග්‍රහණයන් සමඟ ඒ කාලසීමාව තුල කෙමෙන් කෙමෙන් හිස ඔසවමින් ලබා ගත් ශීඝ්‍ර දියුණුව හේතුවනි. එම කාලසීමාව තුළ ලොව ප්‍රබලතම ක්‍රිකට් රාජ්‍යයන්ට එරෙහිව පවා වාර්තා කළ තරගාවලි ජයග්‍රහණ සහ ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් රැසක් අතරින් දීර්ඝ ගමනක් පැමිණ යාන්තමින් අවසන් මොහොතේ මගහැරුණු තරගාවලි ඊට හොඳම උදාහරණ ලෙස දැක්විය හැකි ය.

2012, 2016 සහ 2018 යන වර්ෂ තුනේ පැවති ආසියානු කුසලානවල අනුශූරතාවයන්, 2015 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසාන පූර්ව වටයට පිවිසීම, 2015 වසරේ ඉන්දියාවට හා දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු වරට එක්දින තරගාවලි ජයග්‍රහණ වාර්තා කිරීම, 2016 වසරේ එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීම, 2018 වසරේ පැවති නිදහස් කුසලාන අනුශූරතාවය ඒ බව සනාථ කරන කදිම නිදසුන් ය. එම නිසා මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ද ඔවුන් කිසි සේත් අවතක්සේරු නොකළ යුතු කණ්ඩායමකි.

සුපුරුදු පරිදි මෙවර බංග්ලාදේශ කණ්ඩායම මෂ්රෆි මොර්ටාසාගේ නායකත්වය යටතේ ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටී.

මුලින්ම පිතිකරණ අංශය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී බංග්ලාදේශ කණ්ඩායමේ වසර 12ක පමණ කාලයක සිට ආරම්භක පිතිකරණ භූමිකාවේ නිත්‍ය ස්ථානයක් හිමිකර ගන්නේ වමත් පිතිකරු තමීම් ඉක්බාල් ය. අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨයෙකු වන ඔහු සහභාගී වන සිව්වැනි ලෝක කුසලාන තරගාවලිය මෙයයි. ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන තමීම් බංග්ලාදේශය එදා මෙදා තුර බිහි කළ හොඳම ආරම්භක පිතිකරුවා ලෙසින් ද අවිවාදයෙන්ම සැලකිය හැක.

ඔහුගේ ආරම්භක සගයා වීම සඳහා මේ වන විට ලිටන් දාස් සහ සෞම්‍ය සර්කාර් අතර ද්වන්ද සටනක් නිර්මාණය වී ඇති අතර වර්තමාන පිතිකරණ රිද්මය මත සර්කාර් තරමක් ලිටන්ට වඩා ඉදිරියෙන් සිටී.

මොවුන් දෙදෙනාම ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු වන අතර මේ අතරින් ලිටන් දාස් දකුණත් පිතිකරුවෙකු හා සෞම්‍ය සර්කාර් වමත් පිතිකරුවෙකු වේ. කෙසේ වෙතත් පසුගිය අයර්ලන්ත සංචාරයේ බටහිර ඉන්දීය කොදෙව් සමඟ පැවති අවසන් මහා තරගයේ දී සෞම්‍ය සර්කාර් ලබා ගත් වේගවත් ලකුණු 66 හේතුවෙන් ඔහුට එම ස්ථානය හිමි වීමේ අවකාශ බොහෝ දුරට හිමි වේ යැයි අනුමාන කළ හැක.

බංග්ලාදේශ පිතිකරණ අංශයේ නො.3 සිට 7 දක්වා ස්ථාන 5 තුළ නිත්‍ය ස්ථානයන් හිමිව තිබෙන්නේ ඔවුන් සතු අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන් තිදෙනා වන ශකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම් සහ මහමුදුල්ලා රියාද් යන ක්‍රීඩකයන් තිදෙනාට පමණක් වන අතර අනෙක් ස්ථාන දෙක සඳහා ෂබීර් රෙහ්මාන්, මොහොමඩ් මිතුන් සහ මොසැද්දික් හොසේන් යන තිදෙනා අතරම විශාල තරගකාරීත්වයක් නිර්මාණය වී ඇත.

කෙසේ වෙතත් බංග්ලාදේශයට තවමත් නිත්‍ය නො.3 පිතිකරුවෙකු නොමැති අතර මෑත කාලීනව ඔවුන් එම ස්ථානයේ පිතිකරුවන් යොදා ගනු ලැබුවේ අවස්ථානුකූලවයි. පසුගිය අයර්ලන්ත එක්දින තරගාවලියේ දී ශකීබ් අල් හසන් සහ ෂබීර් රෙහ්මාන් දෙදෙනාම එම ස්ථානයේ අවස්ථානුකූලව ක්‍රීඩා කළහ.

මින් ෂබීර් රෙහ්මාන් යනු වමත් ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන අතර ඔහු නො.3 මෙන්ම නො.7 ස්ථානයේ ද අවස්ථානුකූලව පිතිකරණයේ නියැලෙන පිතිකරුවෙකි. දකුණත් පා දඟපන්දු යවන්නෙකු ලෙස මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ ඔහු කාලයත් සමඟම විශේෂඥ පිතිකරුවෙකු බවට මේ වන විට පත්ව ඇත.

හතළිස් වසරක සිහිනයක් සමඟ ලෝක කුසලානයට පිවිසෙන කොදෙව්වෝ

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට සියලුම කණ්ඩායම්වල සංචිත නම් කොට…

ශකීබ් අල් හසන් බංග්ලාදේශ ක්‍රිකට් වංශ කතාවේ එදා මෙදා තුර බිහි වූ හොඳම ක්‍රීඩකයා ලෙස නියත වශයෙන්ම හැඳින්විය හැකි අතර ඔහු වර්තමාන ICC ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්හි තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර අංක එකේ වැජඹෙමින් සිටීම ඔහුගේ සුවිශේෂී දක්ෂතාව මනාව පිළිබිඹු කරනු ලබයි.

වමත් පිතිකරුවෙකු සහ වමත් පිට දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහු බංග්ලාදේශය සතු ප්‍රබලතම තුරුම්පුවයි. මෑත කාලීනව ඔහු නො.3 මෙන්ම ඔහුගේ සුපුරුදු නො.5 ස්ථානයේ ද අවස්ථානුකූලව පිතිකරණයේ නියැලෙනු ලැබීය.

බංග්ලාදේශය කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන මුශ්ෆිකර් රහීම්ට වෙන් වී අත්තේ නො.4 පිතිකරණ ස්ථානයයි. දකුණත් මැදපෙළ පිතිකරුවෙකු වන ඔහු බොහෝ අවස්ථාවල බංග්ලාදේශය පිතිකරණ අංශයේ නැංගුරම බවට පත්වන්නා ද වේ. තරමක් සෙමෙන් ඉනිම ගොඩනගන ඔහු අවස්ථානුකූලව විශාල පහරවල් කරා ද යා හැකි පිතිකරුවෙකි. බංග්ලාදේශ අනෙකුත් පිතිකරුවන් හා සාපේක්ෂව ගත් කළ ස්ථාවරව පිතිකරණ අන්ත මාරු කරමින් සබඳතා ගොඩනැංවීමට ඔහුට ඇති හැකියාව ඔහු සතු සුවිශේෂී දක්ෂතාවයකි.

ශකීබ් සහ මුෂ්ෆිකර් දෙදෙනාම එකම කාල සමයේ එක්දින කණ්ඩායමට එක් වූ ක්‍රීඩකයන් වන අතර මේ වන විට ඔවුන් දෙදෙනා වසර 13කට ආසන්න ජාත්‍යන්තර එක්දින තරග අත්දැකීම් ඇති කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙකි.

බංග්ලාදේශ නො.5 ස්ථානය ද අවස්ථානුකූලව යොදා ගන්නා ස්ථානයක් වන අතර ශකීබ් මෙන්ම මොහොමඩ් මිතුන් ද ඇතැම් අවස්ථාවන්හි එම ස්ථානයේ පිතිකරණයේ නියැලෙනු ලබයි. මොහොමඩ් මිතුන් යනු බංග්ලාදේශ දේශීය එක්දින පිටියේ මුල් පෙළ පිතිකරුවෙකු වුවත් මෑත කාලීනව ඔහු මැදපෙළ පිතිකරුවෙකු වශයෙන් ද සාර්ථකත්වයට පත්වීම නිසා අවසන් වසරක පමණ කාලය තුල බංග්ලාදේශ එක්දින සංචිතයේ නිත්‍ය සාමාජිකයෙකු වීමට ඔහුට අවස්ථාව උදා විය. දකුණත් පිතිකරුවෙකු වන ඔහු තරමක් සෙමෙන් ආරම්භය ලබාගෙන පිටියේ තැන්පත් වෙමින් පසු ලකුණු අතරට පිවිසෙන පිතිකරුවෙකි.

මෙම සංයුතියේ නො.6 පිතිකරණ ස්ථානය නිතරගයෙන්ම හිමිව තිබෙන්නේ දකුණත් පිතිකරු මහමදුල්ලා රියාද් හටයි. දශකයකට අධික කාලයක සිට බංග්ලාදේශ පිතිකරණ ස්ථානයේ නිත්‍ය ස්ථානයක් හිමිකරගෙන සිටින ඔහු තම කණ්ඩායමට ජයග්‍රහණ රැසක් ලබා දීමට දායක වූ ක්‍රීඩකයෙකි. පිතිකරණය මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ද වන ඔහු තම දකුණත් පිට දඟපන්දුවෙන් කණ්ඩායමේ සමබරතාවය ආරක්ෂා කිරීම සඳහා අමතර ශක්තියක ලබා දෙනු ලබන්නෙකි.

නො.7 ස්ථානය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඒ සඳහා ෂබීර් රෙහ්මාන් සහ මොසැද්දික් හොසේන් අතර තරගයක් නිර්මාණය වෙමින් පවතී. නො.3ට අමතරව අවස්ථානුකූලව නො.7 ස්ථානයේ ද පිතිකරණයේ නියැලෙන ෂබීර්ගේ එම ස්ථානය පිළිබඳව මේ දිනවල යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙන්නේ පහළ මැදපෙළ පිතිකරුවෙකු වන මොසැද්දික් හොසේන් මේ දිනවල තම හොඳම රිද්මයේ සිටීමේ හේතුව නිසාවෙනි.

මොසැද්දික් හොසේන් යනු පිතිකරණය මුල් කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙකු වන ඔහු සිය දකුණත් පිට දඟපන්දු යැවීමෙන් ද කණ්ඩායම අමතර දායකත්වයක් ලබා දෙයි. පසුගිය දා නිමා වූ අයර්ලන්ත සංචාරයේ බටහිර ඉන්දීය කොදෙව් සමග පැවති අවසන් මහා තරගයේ දී ඔහු තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යමින් පන්දු 24කින් නොදැවී රැස්කළ ලකුණු 52 හේතුවෙන් ඔහුට කණ්ඩායමේ දොරගුළු විවර වේ යැයි බොහෝ දුරට අනුමාන කළ හැක

මෙම සංචිතයේ සිටින ලිටන් දාස් සහ මොහොමඩ් මිතුන් දෙදෙනාම අතිරේක කඩුලු රකින්නන් වීම බංග්ලාදේශයට අමතර වාසියකි.

බංග්ලාදේශ දඟපන්දු යැවීමේ අංශය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඔවුන්ගේ පිතිකරණ බලඇණියේම සිටින ශකීබ් අල් හසන් සහ මහමුදුල්ලා වැන්නන් සිය දඟපන්දුවෙන් ද ස්ථාවරව දායකත්වයක් ලබා දෙන බැවින් ඔවුන් මෙම සංචිතය සඳහා විශේෂඥ දඟපන්දු යවන්නෙකු වශයෙන් අමතරව නම් කර ඇත්තේ මෙහෙදි හසන්ව පමණි.

පන්දු යැවීම මුල් කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වශයෙන් ඔහු නො.8 ස්ථානයේ පිතිකරණයේ නියැලෙනු ලබයි. වමත් පිට දඟපන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා සිටින ඔහු පිතිකරුවෙකු වශයෙන් කණ්ඩායමේ පහළ මැදපෙළට ද අමතර ශක්තියක් ලබා දෙන ක්‍රීඩකයෙකි.

මෙවර ලෝක කුසලානය හිරු නොබසින අධිරාජ්‍යයට?

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹීම සඳහා ඇත්තේ තවත් ස්වල්ප කාලයකි. මේ සඳහා…

කෙසේ වෙතත් වේගපන්දුවට හිතකර එංගලන්ත භූමියේ ඔහු නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරාවි ද යන්න මේ වන විට ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇත. එසේ වීමට ප්‍රධානතම හේතුව වනුයේ කණ්ඩායමේ සිටින නිත්‍ය තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ඔවුන්ගේ විශේෂඥ දඟපන්දු යවන්නෙකු වීම නිසා ඊට අමතරව තවත් දඟපන්දු යවන්නෙකු සමඟ එංගලන්ත තණතිලි වල ක්‍රීඩා කිරීමේ අවකාශ අවම වශයෙන් පැවතීමයි.

එය එසේ වුවහොත් නො.8 ස්ථානය වේග පන්දුව මුල් කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මොහොමඩ් සයිෆුදීන් හට හිමි වීමට ද ඉඩ ප්‍රස්ථාවක් ඇත. දකුණත් වේගපන්දු යවන්නෙකු වන ඔහු ඉනිමේ අවසාන භාගයේ විශාල පහරවල් කරා යා හැකි වමත් ප්‍රවේගකාරී පිතිකරුවෙකු ද වේ.

බංග්ලාදේශ වේගපන්දු අංශය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී නිතරගයෙන්ම එහි ආරම්භක පන්දු යවන්නා ලෙසින් පෙරමුණේ පසුවන්නේ බංග්ලාදේශ නායක මෂ්රෆි මොර්ටාසා ය. වමත් වේගොපන්දු යවන්නෙකු වශයෙන් වසර 18කට ආසන්න කාලයක සිට මේ දක්වා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්වීමට සමත් වූ ඔහු එතරම් වේගයක් සහිත පන්දු යවන්නෙකු නොවුවද තම පන්දු යැවීමේ විවිධත්වයන් වන පන්දුව ඇතුළට දෝලනය කිරීමෙන් සහ වේගය අඩාල කර යවන පන්දුව මගින් කඩුලු ලබා ගන්නා පන්දු යවන්නෙකි.

ඔහුගේ සහයක ආරම්භක වේගපන්දු යවන්නා ලෙස කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා සිටින අනෙක් පන්දු යවන්නා වන්නේ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ විශාලතම අනාගත ආයෝජනයක් ලෙස හැඳින්විය හැකි මෂ්ටෆිසුර් රෙහ්මාන්‍ ය. ඒ බව සනාථ කරන ප්‍රධානතම සාධකය වන්නේ ඔහුගේ සුවිශේෂී පන්දු යැවීමේ දත්ත වන අතර මේ දක්වා ඔහු එක්දින තරග 46ක දී කඩුලු 83ක්ම දවා ගැනීමට සමත් වූයේ 22.28ක විශිෂ්ට පන්දු යැවීමේ සාමාන්‍යයක් ද සහිතව ය.

වමත් වේගපන්දු යවන්නෙකු වන ඔහුගේ මූලිකතම පන්දු යැවීමේ ප්‍රභේද වන්නේ පන්දුව ප්‍රතිදෝලනයෙන් කිරීම සහ කෙටි පන්දුවයි. ඉනිමේ අවසන් භාගයේ පන්දු යැවීමේ විශේෂඥ පන්දු යවන්නෙකු ලෙසින් ද හැඳින්විය හැකි මෂ්ටෆිසුර් මෙවර ලෝක කුසලානයේ ඔවුන්ගේ විශාලතම බලාපොරොත්තුවකි.

මෝර්ටාසා සහ මෂ්ටෆිසුර් දෙදෙනා සමඟින් කණ්ඩායමේ තෙවන වේග පන්දු යවන්නා වීම සඳහා මේ වන විට රුබෙල් හොසේන් සහ අබු ජාවෙඩ් දෙදෙනා අතර ද්වන්ද සටනක් නිර්මාණය වී ඇත.

මේ අතරින් අත්දැකීම් බහුල පන්දු යවන්නෙකු වන රුබෙල් හොසේන් සහභාගී වන තෙවන ලෝක කුසලාන තරගාවලිය මෙයයි. එහෙත් ඔහුට නිත්‍ය ක්‍රීඩකයෙකු වශයෙන් කණ්ඩායමේ අවසන් 11 අතර අවස්ථාවක් හිමි වේ ද යන්න මේ වන විට පැන නැගී ඇති විශාල ගැටලුවකි. දකුණත් වේගපන්දු යවන්නෙකු වන ඔහු බංග්ලාදේශ අනෙකුත් වේගපන්දු යවන්නන් හා සාපේක්ෂව තරමක් වැඩි වේගයකින් පන්දු යවන්නෙකු වන අතර පන්දුව පිටතට දෝලනය කිරීමෙන් සහ මද වේගී යෝකර් පන්දුව මගින් ඔහු වැඩි වාසි ලබා ගනියි.

අබු ජාවේඩ් යනු තවමත් එක්දින තරග දෙකක් පමණක් ක්‍රීඩා කොට ඇති දකුණත් වේගපන්දු යවන්නෙකි. එහෙත් දේශීය එක්දින පිටියේ ඔහුගේ සුවිශේෂී දක්ෂතා සලකා බලමින් ටස්කින් අහමඩ් වැනි වේගපන්දු යවන්නන්ටත් ඉදිරියෙන් ඔහුව ලෝක කුසලාන තරගාවලියට තෝරාගෙන ඇත. මෑත කාලීනව ඔහු සිදු කළ සුවිශේෂීම දස්කම වූයේ අයර්ලන්තය සමඟ පැවති එක්දින තරගයක ලකුණු 58කට කඩුලු 5ක් දවා ගැනීමයි.

කැපී පෙනෙන දක්ෂතා රැසක් සහිත අත්දැකීම් සහිත සහ නවක සුසංයෝයගක් සමඟින් මෙවර ලෝක කුසලානයට පිවිසෙන බංග්ලාදේශ කණ්ඩායම කිසිසේත් අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් ලෙස සැලකිය හැක්කේ මෑත කාලීනව ඔවුන් ප්‍රමුඛ පෙළේ තරගාවලිවල දක්වා ඇති දස්කම් පිළිබඳ සලකා බැලීමේ දී ය. ඔවුන් අනෙකුත් කණ්ඩායම් හා සාපේක්ෂව ගත් කළ තරමක් පසුපසින් සිටිය ද යම් පෙරළියක් ඇති කිරීමට හැකියාවක් ඇති කණ්ඩායමක් ලෙස අනුමාන කළ හැකි දස්කම් සමූහයක එකතුවකි.

මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන අත්දැකීම් බහුලතම කණ්ඩායම ලෙසින් ද හැඳින්විය හැකි බංග්ලාදේශ කණ්ඩායම සතුව මේ වන විට ලෝක කුසලාන 4ක අත්දැකීම් ඇති මෂ්රෆි මොර්ටාසා සහ 3ක අත්දැකීම් සහිත ශකීබ් අල් හසන්, මුශ්ෆිකුර් රහීම් සහ ටමීම් ඉක්බාල් තිදෙනාත් සිටීම ඔවුන්ට මහත් අස්වැසිල්ලකි. මොවුන් අතරින් ශකීබ් සහ මුෂ්ෆිකර් දෙදෙනාම හිටපු නායකයන් වන අතර මහමුදුල්ලා රියාද් ද සමඟින් වසර 12 කට වැඩි ජාත්‍යන්තර එක්දින තරග අත්දැකීම් ඇති ක්‍රීඩකයන් 5 දෙනෙකුම ඔවුන් සතුව සිටී.

මෙම කරුණු කාරණා සැලකිල්ලට ගත් විට මෂ්රෆි මොර්ටාසා ප්‍රමුඛ බංගලියන් මෙවර ලෝක කුසලානයේ දී අනපේක්ෂිත ලෙසින් ප්‍රබල කණ්ඩායම් අභිබවා ඉදිරියට පැමිණියහොත් එය අරුමයක් නොවන්නේ ඔවුන් මේ වන විට තම හැකියාව ලෝකය ඉදිරියේ සනාථ කරමින් මෑත කාලීනව ස්ථාවර ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ බැවිනි. එබැවින් මෙවර ලෝක කුසලානයේ දී මෙම නැගී එන බංගලියන් තම දේශය මේ දක්වා සාක්ෂාත් කර නොගත් කුළුඳුල් ලෝක කුසලාන ජයග්‍රහණය අත්කර ගැනීම සඳහා සටන් වදින ආකාරය කෙසේ වේ දැයි ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලෙස අප නෙත් අයා බලා සිටිමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<