මෙවර ලෝක කුසලානය හිරු නොබසින අධිරාජ්‍යයට?

453

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹීම සඳහා ඇත්තේ තවත් ස්වල්ප කාලයකි. මේ සඳහා සහභාගී වන කණ්ඩායම් අතරින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම යැයි අවිවාදයෙන්ම නම් කළ හැකි ලොව අංක එකේ එක්දින කණ්ඩායම වන එංගලන්ත කණ්ඩායමේ සංචිතය ලොව දසත ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයට යොමු වූ කාරණයක් බවට පත් වී ඇත.

දකුණු අප්‍රිකානුවන්ට මෙවරත් අවාසනාව හරස් වේවි ද?

නොබෝ දිනකින් ඇරඹීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට සියලුම කණ්ඩායම්වල සංචිත නම් කොට අවසන්.

තම මව්බිමේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියක තණතීරූ වල වාසිය සහ ප්‍රේක්ෂක සහයේ වාසිය ද සමඟින් එංගලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියට ප්‍රවිෂ්ට වන්නේ ලොව ඉතා ප්‍රබලතම සහ සාර්ථකත්වයේ හිණිපෙත්තේ ම රැඳී සිටින දක්ෂතා සපිරි ආක්‍රමණශීලී කණ්ඩායමක් ලෙසිනි.

කෙසේ වෙතත් ලෝක කුසලාන ඉතිහාසයේ ගමන් මග තුළ තරමක් අවාසනාවන්ත කණ්ඩායමක් ලෙස සැලකිය හැකි එංගලන්තය මේ දක්වා පවත්වන ලද කිසිදු ‍ලෝක කුසලානයක ජයග්‍රාහී පහස විඳ ගැනීමට අපොහොසත් වී ඇති අතර ඔවුන්ට අනුශූරතා 3කින් (1979, 1987, 1992) පමණක් සෑහීමට පත් වීමට සිදුව ඇත.  එහෙත් මෙවර තරගාවලිය සඳහා ඔයින් මෝගන්ගේ නායකත්වයත් සමඟ පිවිසෙන එංගලන්ත කණ්ඩායම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ලෝක කුසලානයක් සඳහා සහභාගී වන එදා මෙදා තුර ප්‍රබලතම සංයුතියයි.

ඔවුන් මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ දී දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා නවසීලන්තය යන කණ්ඩායම් සමඟ අනුපිළිවෙළින් තරග වැදීමට නියමිතව සිටියි.

මෙහි දී ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතු ප්‍රධාන කාරණයක් වන්නේ එංගලන්තය ලෝක කුසලානය සඳහා නම් කළ මූලික සංචිතයේ මේ වන විට වෙනස්කම් 3ක් සිදු කර තිබීමයි. එහි දී  මුල් සංචිතයේ සිටි ඩේවිඩ් විලී වෙනුවට ජොෆ්රා ආචර්වත්, ජෝ ඩෙන්ලි වෙනුවට ලියම් ඩෝසන්වත්, පුරප්පාඩුවක් බවට පත් වී තිබූ ඇලෙක්ස් හේල්ස් වෙනුවට ජේම්ස් වින්ස්වත් ආදේශ කරනු ලැබීය.

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වන්නේ දකුණත් පිතිකරණ සුසංයෝගයක් වන ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටෝ දෙදෙනා ය. වර්තමාන එක්දින පිටියේ ලොව සාර්ථකම එක්දින ආරම්භක පිතිකරණ යුගල වලින් එකක් ලෙස හැඳින්විය හැකි මොවුන් යුගලය මෑත කාලයේ සුවිශේෂී සබඳතා රැසක් ගොඩනැගීමට සමත් වූයේ ප්‍රතිවාදී පන්දු යවන්නන්ව තම අණසකට නතුකර ගනිමිනි.

මේ අතරින් තම එක්දින ක්‍රිකට් දිවියේ හොඳම රිද්මයේ පසුවන බෙයාර්ස්ටෝ ගෙවී ගිය වසර තුළ එක්දින පිටියේ සාර්ථකම එංගලන්ත පිතිකරුවා වශයෙන් ද හැඳින්වීමේ කිසිදු වරදක් නැත. මෙම කණ්ඩායමේ අතිරේක කඩුලු රකින්නා වශයෙන් ද කටයුතු කරන බෙයාර්ස්ටෝගේ ආරම්භක පිතිකරණයේ සාර්ථකත්වය මත එංගලන්ත කණ්ඩායම මෙවර විශාල වශයෙන් බලාපොරොත්තු තබනු ඇත.

ජේසන් රෝයිගේ හැඟීම්බර ශතකයේ කතාව

එංගලන්තය හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය පිළිබඳව මේ දිනවල කාගේත් අවධානය යොමුව ඇත. පසුගිය දා නිමා…

බෙයාර්ස්ටෝගේ සගයා වන ජේසන් රෝයි කණ්ඩායමේ සිටින ඉතා ප්‍රවේගකාරී පිතිකරුවෙකි. විශාල පහරවල් කරා යමින් වේගවත් ආරම්භයක් ලබා දිය හැකි පිතිකරුවෙකු වන ඔහු වසර 4ක පමණ කාලයක සිට එංගලන්ත එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරණ ස්ථානය ස්ථාවරව තමාගේ නමට වෙන්කරවාගෙන සිටින පිතිකරුවෙකි.

එංගලන්ත පිතිකරණ බලඇණියේ සිටින අති දක්ෂතම පිතිකරුවා ලෙස අවිවාදයෙන්ම නම් කළ හැකි ජෝ රූට් මෙම සංයුතියේ නො.3 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කරන්නේ එංගලන්ත පිතිකරණ අංශයේ වගකීම තම කරපිට මත රඳවා ගනිමිනි. එමෙන්ම වර්තමාන ICC එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වල හත් වැනි ස්ථානය දිනා සිටින රූට් එම ලැයිස්තුවේ මුල් පිතිකරුවන් දස දෙනා අතර සිටින එකම එංගලන්ත ක්‍රීඩකයා ද වේ. තාක්ෂණයෙන් පිරිපුන් මෙන් ම පිටිය පුරා වැඩි පහරවල් පරාසයකින් හෙබි දකුණත් පිතිකරුවෙකු වන රූට් එංගලන්ත ලෝක කුසලාන ගමන් මගේ තවත් එක් විශාලතම බලාපොරොත්තුවකි.

නො.4 ස්ථානය වෙන් වී ඇත්තේ එංගලන්ත නායක ඔයින් මෝගන් හට ය. තමාටම ආවේණික පහරවල් රැසකින් සමන්විත වමත් පිතිකරුවෙකු වන මෝගන් ද කණ්ඩායම් වගකීම් සහිත ප්‍රධාන තම භූමිකාවක් හොබවන ක්‍රීඩකයෙකි.

අයර්ලන්ත ක්‍රීඩකයෙකු ලෙස ක්‍රිකට් පිටියට පා තබමින් ඇරඹි ගමන් මග එංගලන්ත නායකත්වය කරා ඉදිරියට ගෙන යෑමට සමත් වූ මෝගන් එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම එක්දින ලකුණු ලාභියා බවට පත්වීමට සමත් වූයේ සිය විශිෂ්ටත්වය ලොවට මනාව විදහා දක්වමිනි.

මේ වන විට එංගලන්ත කණ්ඩායම සතු අත්දැකීම් බහුලතම සහ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා ද වන මෝගන් සහභාගී වන සිව්වැනි ලෝක කුසලාන තරගාවලිය මෙයයි.

මේ වන විට ලොව ඉදිරියෙන්ම සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැකි බෙන් ස්ටෝක්ස්ට මෙම ලැයිස්තුවේ නො.5 ස්ථානය හිමිව ඇත. පිතිකරණය මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැකි ස්ටෝක්ස් කණ්ඩායමේ සිටින තවත් එක් ප්‍රවේගකාරී  පිතිකරුවෙකි. වමතින් පිත්ත හසුරුවන පිතිකරුවෙකු සහ දකුණත් වේගපන්දු යවන්නෙකු වන ස්ටෝක්ස් මෙම කණ්ඩායමේ සිටින තවත් එක් ප්‍රබලතම ක්‍රීඩකයෙකි.

මෙම සංයුතියේ නො.6 ස්ථානය වෙන් වී ඇත්තේ වර්තමාන එක්දින පිටියේ ලොව හොඳම තරග නිමා කරවන්නන් අතර ඉදිරියෙන්ම සිටින පිතිකරුවෙකු ලෙස හැඳින්විය හැකි ජොස් බට්ලර් හට ය. තරගයක් වෙනස් කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති ඔහු තමාටම ආවේණික පහරවල් පරාසයක් ඔස්සේ ලකුණු රැස්කර ගන්නා දක්ෂ දකුණත් පිතිකරුවෙකි. අවස්ථානුකූලව ඉනිමක් ගොඩනැගීමට මෙන්ම අවශ්‍ය විටෙක ලකුණු වේගය වැඩි කිරීමේ හැකියාවක් ඇති බට්ලර් ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ විශාලතම භීතිකාවකි. එමෙන්ම කණ්ඩායමේ උපනායකත්වයේ වගකීම සහ නිත්‍ය කඩුලු රකින්නාගේ රාජකාරීන් පැවරී තිබෙන්නේ ද ඔහුට ය.

නො.7 ස්ථානය හිමිව තිබෙන්නේ දඟපන්දු යැවීම මූලික කර ගත් තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී හටයි. ප්‍රහාරාත්මක වමත් පිතිකරුවෙකු මෙන්ම දකුණත් පිට දඟපන්දු යවන්නෙකු ද වන ඔහු එංගලන්ත කණ්ඩායමේ සමබරතාවය රඳවා ගැනීම සඳහා ඉවහල් කරගන්නා සුවිශේෂී තුරුම්පුවකි.

බලහත්කාරයෙන් ගත් ලකුණු දෙකෙන් ලෝක ශූරතාව දිනූ හැටි

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරග සාමාන්‍යයෙන් ඉතාම උණුසුම් ස්වරූපයක් උසුලයි. 1987 ලෝක කුසලාන…

කණ්ඩායමේ නො.8 ස්ථානය නිතරගයෙන්ම හිමි වී තිබෙන්නේ වේගපන්දු යැවීම මුල් කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ක්‍රිස් වෝක්ස් හටයි. පසුගිය කාල සමයේ අතිසාර්ථක ලෙස ස්ථාවරව පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ වොක්ස් තමා අවසන් වරට සහභාගී වූ එක්දින තරග 2 තුළ පමණක් කඩුලු 9ක්ම ඩැහැ ගැනීමට සමත් වූයේ සිය ලෝක කුසලාන සූදානම ලොවට මනාව පිළිබිඹු කරමිනි. නව පන්දුව උපයෝගී කර ගනිමින් වඩාත් සාර්ථක වන ආරම්භක පන්දු යවන්නෙකු වන වෝකස් පන්දුව ඇතුළට හා පිටතට දෝලනය කිරීම මගින් වැඩි වාසි ලබා ගන්නා දකුණත් වේගපන්දු යවන්නෙකි.

වෝක්ස්ගේ සහයක වේගපන්දු යවන්නන් දෙදෙනා වෙතැයි බොහෝ දුරට අනුමාන කළ හැක්කේ ටොම් කරන් සහ ජොෆ්රා ආචර් යුගලයයි. ඔවුන් කණ්ඩායමේ සිටින අනෙක් වේගපන්දු යවන්නන් දෙදෙනා වන මාක් වුඩ් සහ ලියම් ප්ලන්කට් දෙදෙනාටම වඩා ඉහළ රිද්මයක පසුවන අතර නිමා වූ පාකිස්තාන එක්දින තරගාවලියේ දී ඒ බව මනාව ඔප්පු කරනු ලැබීය.

මොවුන් අතරින් මාක් වුඩ් සහ ආචර් දෙදෙනා නව පන්දුවට ප්‍රමුඛතාවය ලබා දෙමින් පන්දුව පිටතට දෝලනය කිරීමෙන් සහ කෙටි පන්දුව මගින් වැඩි වාසි ලබා ගන්නා අතර ටොම් කරන් සහ ප්ලන්කට් දෙදෙනා පරණ පන්දුවට ප්‍රමුඛතාවය ලබා දෙමින් පන්දුව ඇතුළට දෝලනය කිරීම, කෙටි පන්දුව සහ මද වේගී යෝකර් පන්දුව යනාදී පන්දු සම්මිශ්‍රණයක් මගින් වැඩි වාසි ලබා ගනියි. මේ අතරින් වේගවත්ම පන්දු යවන්නා වන්නේ ලියම් ප්ලන්කට් වන අතර ඔහු අමතර වේගයට ද ප්‍රමුඛත්වයක් ලබා දෙන පන්දු යවන්නෙකි.

මෙම වේගපන්දු කාණ්ඩ දෙකෙන් එක් ක්‍රීඩකයා බැගින් තෝරාගැනීමට වඩාත් ඉඩ ප්‍රස්ථාව ඇත්තේ ඔවුන් වර්තමාන රිද්මයටත් වඩා පන්දු යවන්නන්ගේ පන්දු යැවීම් ප්‍රභේදවල විවිධත්වයන් සුසංයෝගයකට මූලිකත්වය ලබා දීමේ අවකාශ වැඩි වශයෙන් ඇති බැවිනි. කෙසේ වෙතත් මොවුන් අතරින් සංසන්දනාත්මකව බැලූ කල ඉනිමේ අවසාන පන්දුවාර කිහිපය යැවීමේ විශේෂඥ පන්දු යවන්නා වන්නේ ටොම් කරන් ය.

කෙසේ වෙතත් එංගලන්ත වේගපන්දු බලඇණියේ මූලිකතම අඩුපාඩුවක් වන්නේ ඔවුන්ගේ වේගපන්දු යවන්නන් පස්දෙනාම දකුණත් වේගපන්දු යවන්නන් වීම හේතුවෙන් ඔවුන් සතුව කිසිදු වමත් වේගපන්දු යවන්නෙකු නොසිටීමයි.

මෙම සංයුතියේ සිටින නිත්‍ය දඟපන්දු යවන්නා ලෙස පසුගිය වසර 4ක පමණ කාලයක සිට කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් හිමිකර සිටින දකුණත් පා දඟපන්දු යවන්නා වන්නේ ආදිල් රෂිඩ් ය. ගියවර ලෝක කුසලානයේ සිට මේ දක්වා කාල සීමාව තුළ ලොව වැඩිම එක්දින කඩුලු ලාභියා වශයෙන් තරග 83ක් තුළ කඩුලු 129ක් දවා ගැනීමට සමත් වීම ඔහු තම අති සාර්ථකත්වය ලොවට විදහා දක්වන කදිම නිදසුනයි. ගුග්ලි සහ ලෙග් බ්‍රේක් පන්දු යැවීමේ ප්‍රභේද තම මූලික තුරුම්පු බවට පත්කර ගන්නා රෂීඩ් ඔහුගේ සහයකයා වන මොයින් අලී සමඟ එක්ව කණ්ඩායම දඟ පන්දු අංශය ශක්තිමත් කරනු ලබයි.

සංචිතයේ සිටින අතිරේක දඟ පන්දු යවන්නා වන්නේ වමත් පිට දඟපන්දු යවන්නෙකු වන ලියම් ඩෝසන් ය. පන්දු යැවීම මුල් කර ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ද වන ඩෝසන් තවමත් සහභාගී වී ඇත්තේ ජාත්‍යන්තර එක්දින තරග 3කට වුවත් දේශීය එක්දින පිටියේ ඔහු පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද ස්ථාවරව දැක්වූ දක්ෂතා පාදක කරගෙන මෙම ලෝක කුසලානය සඳහා ඔහුව නම් කර ඇත.

මෙම සංචිතයට අයත් අනෙක් ක්‍රීඩකයා වන්නේ දකුණත් ආරම්භක පිතිකරුවෙකු වන ජේම්ස් වින්ස් ය. තරමක් සෙමෙන් ඉනිම් ගොඩනගන පිතිකරුවෙකු වන ඔහු තවමත් ජාත්‍යන්තර පිටියට නවක මුහුණකි. ඇලෙක්ස් හේල්ස්ව කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා එහි පුරප්පාඩුව පිරවීම සඳහා ලෝක කුසලාන සංචිතයේ කොටසක් වීමට භාග්‍යය උදා කර ගත් වින්ස් දේශීය එක්දින පිටියේ වසර 4ක පමණ කාලයක සිට ස්ථාවරව ලකුණු අතර සිටින දක්ෂ පිතිකරුවෙකි.

අනෙකුත් කණ්ඩායම් හා සංසන්දනයේ දී එංගලන්ත කණ්ඩායමේ සුවිශේෂීත්වය වන්නේ ඔවුන්ගේ සියලුම පන්දු යවන්නන්ට හොඳින් පිතිකරණයේ නියැලීමේ හැකියාව ඇති නිසා ශක්තිමත් අග පෙළ පිතිකරණ බලඇණියක් ඔවුන් සතු වීමයි.  

සුවිශේෂී දක්ෂතා සමූහයක සුසංයෝගයක් සමඟින් එළඹෙන තරගාවලිය සඳහා ප්‍රවිෂ්ට වන මෙවර එංගලන්ත කණ්ඩායම ඉතාමත් සමබර සංයුතියකි. තවද වර්තමාන ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ පසුවන ඔවුන් පසුගිය වසර කිහිපය තුළ ස්ථාවරව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූයේ මේ වන විට ලොව එක්දින පිටියේ ආධිපත්‍යය තමන් සතුකර ගනිමිනි.

එංගලන්ත එක්දින ක්‍රිකට් වංශ කතාවේ එදා මෙදා තුර බිහි වූ හොඳම කණ්ඩායම වන වර්තමාන එංගලන්ත කණ්ඩායමට තම හොඳම රිද්මයේ සිටින අවස්ථාවේ දී ම සිය මවුබිමේ දී ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමට ලැබීම ඔවුන් ලද මහඟු භාග්‍යයකි. මේ නිසාවෙන්ම එංගලන්ත ක්‍රිකට්ලෝලීන් ද මෙවර තම කණ්ඩායම පිළිබඳව පෙර පැවති ලෝක කුසලාන තරගාවලි සියල්ලටම වඩා බලාපොරොත්තු පොදියක් රඳවා ගෙන සිටින බවට කිසිදු සැකයක් නොමැත.

එබැවින් මේ දක්වා සිය ක්‍රිකට් ඉතිහාසය තුළ මෙවැනි දුර්ලභ අවස්ථාවක් තම කණ්ඩායමට නොලැබුණු බැවින් එයින් නිසි ඵල ප්‍රයෝජන ලබා ගනිමින් ලෝක ශූරතාවය කරා ජයග්‍රාහීව ගමන් කිරීම ඔවුන්ගේ ඒකායන අරමුණ මෙන්ම මූලිකම වගකීමයි.

මෙවර ලෝක කිරුළ හිමිකර ගැනීමට වැඩි වශයෙන්ම අවකාශ ඇති කණ්ඩායම ලෙස නම් කළ හැකි ක්‍රිකට් උපන් දේශය වන එංගලන්තය මෙවර සිය මවුබිම තුළ සහ ප්‍රේක්ෂකයන් ඉදිරියේ දී තම දක්ෂතා උපරිමයේ රඳවා ගනිමින්, තම කණ්ඩායම මේ දක්වා සාක්ෂාත් කර නොගත් ලෝක කුසලාන සිහිනය මල්ඵල ගන්වා ගැනීම සඳහා තම උපරිම දායකත්වය ලබා දෙමින් ප්‍රතිවාදීන්ගේ විශාලතම භීතිකාව බවට පත් වන බවට නොඅනුමාන ය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<