ඔලිම්පික් දොරගුළු ප්‍රේක්ෂකයන්ට විවර වන ලකුණු

133

කොරෝනා වසංගතය නිසාවෙන් ලබන වසර තෙක් කල් දැමූ 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල, ක්‍රීඩාංගණයට පැමිණ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට බොහෝ දුරට අවස්ථාවක් හිමි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී Thomas Bach පසුගිය දා ප්‍රකාශ කළේය.

ඔලිම්පික් උළෙලේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීමට සහ මෙම වසංගත තත්වය යටතේ එම ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වීම පිළිබඳව සොයා බැලීම සඳහා මේ දිනවල ජපානයට ගොස් සිටින Thomas Bach ජපාන ඔලිම්පික් බලධාරීන් සමඟින් සාකච්ඡා කිහිපයකට ද සහභාගි වී තිබුණි.

එම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Thomas Bach ප්‍රකාශ කර සිටියේ ඔලිම්පික් උළෙල සඳහා ප්‍රේක්ෂකයන් සහභාගි කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට තම සංගමය විශාල වෙහෙසක් ගන්නා බවත්, තරගාවලිය සඳහා සහභාගි වන ප්‍රේක්ෂකයන් හට තරගාවලියට පැමිණීමට පෙර කොරෝනා මර්දනය එන්නතක් ලබා දීමට සැලසුම් කරමින් සිටින බවයි.

“මේ තත්වය උඩ අපට ගන්න පුළුවන් විවිධ පියවරයන් පිළිබඳව සාකච්ඡා කරලා, ඒ සියල්ලම ලැයිස්තු ගත කරලා ඒවාගෙන් හොඳම පියවර ගැනීමට සූදානමින් සිටිනවා. ඒ නිසා අප හැමෝටම විශාල විශ්වාසයක් තියෙනවා ඔලිම්පික් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ට විවෘත කරන්න පුළුවන් වෙයි කියලා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා. 

එමෙන්ම ඔලිම්පික් උළෙල නියමිත පරිදි පැවැත්වෙනවා ද, එසේත් නොමැති නම් පවතින වසංගත තත්වය මත අවලංගු කරනවා ද යන්න පිළිබඳව Thomas Bach විසින් ජපාන ඔලිම්පික් අමාත්‍ය Seiko Hashimotoගෙන් විමසා තිබූ අතර එයට පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ ඕනෑම පිරිවැයක් දරා මෙම තරගාවලිය පැවැත්වීමට තම බලධාරීන් සූදානම් බවයි.

තවත් මලල ක්‍රීඩා පුවත්:

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජෛව ආරක්ෂිත බුබුලකට යොමු කිරීමට ද ජපාන බලධාරීන් සිය අවධානය යොමු කර ඇති අතර තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට දින 14  නිරෝධායන කාලසීමාවකට ද යටත් වීමට සිදු වනු ඇත.

2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා රටවල් 200ක් නියෝජනය කරමින් තරගකරුවන් 11,000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව ඇති අතර තරගාවලිය ලබන වසරේ ජූලි මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<