ශ්‍රී ලංකා යෞවනියෝ 3 වැනි ජයත් ලබා ගනී

Women's Under-19 Tri-Series in Australia

5

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සහභාගී වන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ දී ලකුණු 35ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා. 

ඒ සමඟින් ඔවුන් මෙතෙක් සහභාගී වූ සෑම තරගයක් ම ජය ගැනීමට ද සමත් වෙනවා.  

Gold Coast හී Bill Pippen Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයට පෙර තරගයට ක්‍රීඩා කළ උමයංගනා පීරිස් සහ චමෝදි හේරත් එක් නොවූ අතර ඒ වෙනුවට ශයනි තෙන්නකෝන්, නෙත්මි උපේක්ෂා එක් වී සිටියා.  

ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

චමෝදි ප්‍රබෝධා (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, ශයනි තෙන්නකෝන්, ලිමංසා තිලකරත්න, ශෂිනි ගිම්හානි, දනෝද්‍යා සෙව්මිණි, නෙත්මි උපේක්ෂා, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුණේ. 

 

එංගලන්ත කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

Bryony Gillgrass(නායිකාව), Amelia Oliver, Genevieve Jeer, Shristi Patil, Prarthana Reddy, Diya Badge(කඩුලු රකින්නිය), Eliza Bristowe, Bea Willis, Eve ONeill, Venus Weerappuli, Clara Thaker 

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායිකාව පළමුවෙන් ම පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 104ක් පමණයි.  

එම ඉනිම ආරම්භ කළ සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 55ක දී ලකුණු 56ක සබඳතාවක් එක් කළ ද ඉතිරි කඩුලු 9 ලකුණු 48ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදී එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.  

ඒ අතර විමෝක්ෂා බාලසූරිය සහ නෙත්මි උපේක්ෂා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 24ක දී එක් කළ ලකුණු 22ක සබඳතාවක් ද තිබෙනවා.  

විමෝක්ෂා බාලසූරිය පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර ඊට අමතර ව සංජනා කාවින්දි පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ද සහ නෙත්මි උපේක්ෂා පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ද ලබා ගත්තා.  

අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට නොහැකි ෙවන අතර කඩුලු දවා ගැනීමේ දී Eliza Bristowe ලකුණු 15කට කඩුලු 3ක් ද සහ Venus Weerappuli ලකුණු 6කට කඩුලු 2ක් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ ආරම්භක පිතිකාරිනී Amelia Oliver. ඇය පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත් අතර ඊට අමතර ව Shristi Patil පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තා. 

නවසීලන්ත ඉනිමේ අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ. එහි දී ලිමංසා තිලකරත්න ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුණේ කඩුලු ද්විත්වය බැගින් ද, ශෂිනි ගිම්හානි, දනෝද්‍යා සෙවිමිණි සහ චමෝදි ප්‍රබෝධා කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

ශ්‍රී ලංකාකාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 104 (20.0) සංජනා කාවින්දි 26, විමෝක්ෂා බාලසූරිය 34, Eliza Bristowe 3/15, Venus Weerappuli 2/06 

 

එංගලන්තකාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 69 (16.3) Amelia Oliver 16, අසේනි තලගුණේ 2/12, ප්‍රමුදි මෙත්සරා 2/11, ලිමංසා තිලකරත්න 3/12 

 

ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 35ක ජයක්. 

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී මීළඟ තරගය හෙට (18) ඕස්ට්‍රේලියාව සමඟින් Brisbane හි Ian Healy Oval ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.  

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<