මලල ක්‍රීඩා පිටිය කාර්යබහුල වන 2022

මලල ක්‍රීඩා කාලසටහන 2022

312

කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසර දෙකක කාලය මලල ක්‍රීඩා පිටිය සීමිත තරගාවලි කිහිපයකට සීමාව තිබුනත්, ලැබූ 2022 වසර මලල ක්‍රීඩා පිටිය ඉතාම කාර්යබහුල වසරක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ජාතික මෙන්ම ජාත්‍යන්තර පිටියේ ද තරගාවලි රැසක් පැවැත්වීමට සැලසුම් කර ඇති 2022 මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළ වන කාලසටහන මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබුණා.

එයට අනුව මෙම වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට තිබූ ආසියානු මැරතන් ශූරතාවය සහ දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවය කොරෝනා නිසාවෙන් අවලංගු කිරීමට සිදු වූ අතර ඩකා මැරතන් තරගය සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කළ සියවස් මැරතන් තරගය සාර්ථකව පවත්වා අවසන් කළා.

මලල ක්‍රීඩා පිටියේ වැඩ ආරම්භ කරමින් පෙබරවාරි 10, 11 සහ 12 යන තෙදින තුළ ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කර ගනිමින් පළමු ජාතික සහ කනිෂ්ඨ තේරීම් තරග පැවැත්වීමට නියමිතයි.

මලල ක්‍රීඩා පිටියට ඉතා කාර්යබහුල මාසයක් වන මාර්තු මාසයේ දී යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය, 6th Asian Indoor & Martial Art Games, දෙවැනි ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය ඇතුළු තරගාවලි රැසක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ජාතික මලල ක්‍රීඩා සංගමයට වසර සියයක් පිරීම නිමිත්තෙන් එය සැමරීමේ උත්සවයක් අප්‍රේල් 07 වැනිදා පැවැත්වෙන අතර අප්‍රේල් 08, 09 සහ 10 යන තෙදින තුළ ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් තේරීම් තරගාවලිය ලෙස 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පැවැත්වීමට නියමිතයි.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියට සුවිශේෂී මාසයක් වන මැයි මාසයේ අවසන් ජාතික කනිෂ්ඨ තේරීම් තරග පැවැත්වෙන අතර එම මස 19 සහ 20 යන දෙදින තුළ දී දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර තිබීම විශේෂත්වයක්.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය අගෝස්තු 20 සිට 07 දක්වා පැවැත්වේ.

මෙම වසරේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම තරගාවලිය වන ලෝක මලල ක්‍රීඩා ශූරතාවය ජූලි මාසයේ පැවැත්වෙන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අගෝස්තු මාසයේ දීත් සහ ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිවලට අමතරව කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමූ තරගාවලි කිහිපයක් ද මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව ඇති නිසාවෙන් මෙම වසර ජාතික මලල ක්‍රීඩා පිටියට ඉතා කාර්යබහුල වසරක් ලෙස හැඳින්විය හැක.

2022 වසරේ දී පැවැත්වීමට නියමිත තරගාවලි කාලසටහන

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<