“ඊළඟ තරගයේ දී මීට වඩා හොඳ තණතිල්ලක් බලාපොරොත්තු වෙනවා” – දිමුත් කරුණාරත්න

1028

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් දිනය වූ ඊයේ (04) දිනයේ දී ජයග්‍රහණය හිමි කර ගැනීමට අපොහොසත් වීමෙන් අනතුරුව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර සිටියේ එහි තණතිල්ල පන්දු යවන්නන් හට කිසිදු හිතකර බවක් නොදැක්වූ නිසා එය ටෙස්ට් තරග සඳහා සුදුසු නොමැති බවයි.

[rev_slider LOLC]

තරගයේ අවසන් දිනය ආරම්භ වන විට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම දෙවන ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 81ක් රැස්කරගෙන සිටි අතර ඒ වන විටත් ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 119ක් පසුපසින් සිටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට අවස්ථාවක් තිබුණි. කෙසේ නමුත් බංග්ලාදේශ කණ්ඩායමේ මොමිනුල් හක් සහ ලිතෝන් දාස් එහි දී දියත් කළ විශිෂ්ට පිතිකරණය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව ඇහිරී ගිය අතර ඒ අනුව තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

මොමිනුල් හක් එහි දී පන්දු 174ක් තුළ ලකුණු 105ක් රැස්කර ගැනීමට සමත් වූ අතර ඔහු පළමු ඉනිමේ දී ද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 176ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 307ක් රැස්කරගෙන සිටිය දී තරගය නිමාවන්නට පැයකට පෙර කණ්ඩායම් දෙකම තරගය ජය-පරාජයෙන් තොරව නිමා කිරීමට තීරණය කරන ලදි.

70 වැනි නිදහස ජයෙන් සැමරීමට තිබූ අවස්ථාව මඟ හැරී යයි

මොමිනුල් හක් සහ ලිටන් ඩාස් එක්ව සිව්වැනි කඩුල්ලට එක් කළ ලකුණු 180ක සබඳතාව හේතුවෙන් 70 වැනි නිදහස අභිමානවත්ව සැමරීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්…

කෙසේ නමුත් ඊයේ දිනය ආරම්භයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවූවා නම් තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාව දෙසට යොමුවන්නට වැඩි ඉඩකඩක් තිබූ නමුත් මොමිනුල් හක් මෙම තරගය තුළ වාර්තා කර ගත් සිය දෙවැනි ශතකය හා ඔහු ලිතෝන් දාස් සමඟ එක්ව ගොඩනැඟූ සබඳතාව හේතුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත. ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව 4 වන කඩුල්ල සඳහා ලකුණු 180ක සබඳතාවක් ගොඩනැඟූ අතර ලිතෝන් දාස් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරගන්නට ලකුණු 6ක් ඉතිරිව තිබිය දී දැවී යාමත් සමඟ එම සබඳතාව බිඳ වැටීමට ලක්විය.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට වාර්තා කරගත් ලකුණු 513ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 713ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කිරීමට තීරණය කළ අතර ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළේ ලකුණු 200ක් පසුපසින් සිටිමිනි. “බංග්ලාදේශය ලකුණු 500කට වඩා රැස්කරගන්න සමත් වුනා. නමුත් අපේ පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කරලා ලකුණු 700කට වඩා රැස්කරගනු ලැබුවා. ඒ අනුව අපේ ක්‍රීඩකයෝ ලොකු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ප්‍රතිවාදීන්ට හොඳ පීඩනයක් එල්ල කරන්න සමත් වුනා. නමුත් මම හිතන්නේ නැහැ ඒක ටෙස්ට් තරග වලට හොඳ තණතිල්ලක් කියලා. මොකද තරගයේ දී ලකුණු 1,500ට වැඩියෙන් වාර්තා වුනා. මට හිතෙන විදිහට තණතිල්ලකින් පන්දු යවන්නන්ටත් යම්කිසි සහයෝගයක් තියෙන්න ඕන.” කරුණාරත්න තරගය අවසානයේ අදහස් දක්වමින් පැවසීය.

“සාමාන්‍යයෙන් මේ මහද්වීපයේ තරගවල සිව්වන හා පස්වන දිනයන්වල දී පන්දුව දඟ කැවෙනවා. නමුත් මෙහි දී එතරම් දඟ කැවීමක් හෝ පන්දුව දෝලනය වීමක් තිබුණේ නැහැ. පිතිකරුවන්ට පසු පාදයේ පවා විශාල පහරවල් එල්ල කරන්න පුළුවන් මේ තණතිල්ලේ දී. ලකුණු පුවරුවේ පවා ලොකු ලකුණු සංඛ්‍යාවන් සටහන් වුනා.

කෙසේ නමුත් මම බලාපොරොත්තු වෙනවා මීළඟ තරගයේ දී 50-50 තණතිල්ලක් ලැබෙයි කියලා.” වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ය.

එමෙන්ම මෙහි දී අදහස් දැක්වූ ඔහු, මොමිනුල් හක් ඉනිම් දෙකේ දී දියත් කළ විශිෂ්ට පිතිහරඹය සහ ඔහු ලිතෝන් දාස් සමඟ එක්ව ගොඩනැඟූ සබඳතාව වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කරන ලදි. “ඉනිම් දෙකේ දී ම ක්‍රීඩා කළ ආකාරය වෙනුවෙන් මොමිනුල්ට ප්‍රශංසා කළ යුතුයි. තරගයේ අවසන් දිනයේ උදේ තරග වාරය ගොඩක් වැදගත් එකක්. එහි දී අපිට ඔවුන්ගේ කඩුලු 2ක් දවා ගන්න පුළුවන් වුනා නම් අපිට තරගය ජයගන්න අවස්ථාවක් තිබුණා. අපි බලාපොරොත්තු වුණෙත් ඒක කරලා ඔවුන්ව පීඩනයට ලක් කරන්න. නමුත් මොමිනුල් හා ලිතෝන් ගොඩක් හොඳින් ක්‍රීඩා කළා. ඔවුන් කඩුලු දවාගන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. පන්දු යවන්නන්ට කිසි සහයෝගයක් ලැබුණේ නැහැ. ඒ වගේම තණතිල්ල මන්දගාමී යි. ඒ නිසා පිතිකරුවන්ට සාමාන්‍ය පරිදි හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් වුනා. නමුත් ඒක තමයි තරගයේ ස්වභාවය.”

ශ්‍රී ලංකාව නිදහස් දිනය සැමරූ දිනයේ දී ශ්‍රී ලංකා වාසීන් හට ජයග්‍රහණයක් හිමි කර දීමට තිබූ අවස්ථාව ගැන අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ; “අපේ නිදහස් දිනයත් තිබුණ නිසා තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් වුනා නම් ඒක ලොකු දෙයක්. නමුත් ඒ සඳහා කඩුලු දවාගත යුතුයි. ඒකට පන්දු යවන්නන්ට ගොඩක් මහන්සි වෙන්න වුනා. අපි අපිට පුළුවන් හැම දෙයක්ම කළා. නමුත් තණතිල්ලේ සහයෝගය තිබුණේ පිතිකරුවන්ට විතරයි.”    

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<