නිලක්ෂිකා සිල්වා, පිතිකාරිනියක ලෙසින් ගොඩ නැගූ ඉනිමෙන් අනතුරු ව චමරි අතපත්තු, කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්සයි තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමත් සමඟින් ඉන්දුනීසියාවට එරෙහි ව ලකුණු 75ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (2) පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දුනීසියා ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 124ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී ඉන්දුනීසියා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 49ක් පමණයි.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ ලබා ගත් පිට 2 වැනි ජයග්‍රහණයයි.
>>ශ්‍රී ලංකාව හා තරගයට එක් වෙන ඉන්දුනීසියා ක්‍රීඩිකාවෝ<<
මෙම තරගයේ දී ඉන්දුනීසියා කණ්ඩායම පෙර තරගය හා එක් වූ කණ්ඩායම ම එක් කර තිබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් කර තිබුණා. ඒ ආබාධයකට ලක් වූ මිතාලි අයෝධ්‍යා වෙනුවට කාව්‍යා කාවින්දි එක් කර ගනිමිනුයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞෂනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), කාව්‍යා කාවින්දි, සුගන්දිකා කුමාරි, චමුදි ප්‍රබෝධා සහ චේතනා විමුක්ති.
ඉන්දුනීසියා කාන්තා කණ්ඩායම
Ni Putu Ayu Nanda Sakarini (නායිකාව සහ කඩුලු රකින්නිය), Maria Corazon, Rahmawati Pangestuti, Ni Luh Dewi, Ni Kadek Fitria Rada Rani, Desi Wulandari, Ni Made Putri Suwandewi, Sofia Velic, Ni Ariani, Sang Maypriani, Dara Paramitha,
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. පළමුවෙන් දැවී ගිය කඩුලු 6න් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් එක් කර ගන්නේ සංජනා කාවින්දි පමණයි. ඇය පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා තිබුණා.
ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 62 නැංගුරම් ලා තිබූ අතර ඉමේෂා දුලානි (3), චමරි අතපත්තු (9), හර්ෂිතා සමරවික්‍රම (5), කවීෂා දිල්හාරි (6) සහ කෞෂිනි නුත්‍යාංගනා (6) අසාර්ථක ඉනිම් ක්‍රීඩා කර තිබුණා.
ශ්‍රී ලංකාව වැටී තිබූ එම අමාරුවෙන් ගලවා ගන්නේ නිලක්ෂිකා ද සිල්වා. ඇය ඉන්මේ 7 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා. එය ඇය ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 3 වැනි අර්ධ ශතකය වූ අතර ආසියානු කුසලාන තරග ඉතිහාසයේ මංගල අර්ධ ශතකයයි.
ඇය දැවී ගිය එම කඩුල්ල වෙනුවෙන් කාව්‍යා කාවින්දි හා එක් ව පන්දු 36ක දී ලකුණු 50ක සබඳතාවක් ද එක් කරනවා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව කාව්‍යා කාවින්දි සහ සුගන්දිකා කුමාරි ඉනිම අවසන් වෙද්දී පිටියේ නොදැවී රැදී සිටි අතර ඒ වෙද්දී කාව්‍යා කාවින්දි පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 15ක් ද සහ සුගන්දිකා කුමාරි පන්දු 8ක දී නොදැවී ලකුණු 8ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Ni Luh Dewi ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Sang Maypriani කඩුලු ද්විත්වයක් ද, Sofia Velic සහ Ni Ariani කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- ශ්‍රී ලංකාව පහසු ජයග්‍රහණකින් තරගාවලිය ආරම්භ කරයි
- Major Club කාන්තා ශූරතාව Baduraliya ට
- අශානි, ශෂිනි සහ මල්කි දක්ෂතා දක්වයි
- නිලක්ෂිකා පිට පිට 2 වැනි අර්ධ ශතකයත් ලබා ගනී
- ශෙහාරි කඩුලු 7ක් දවා ගනීද්දී විශ්මි ශතකයක් ලබා ගනී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දුනීසියා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Ni Made Putri Suwandewi. ඇය එම ඉනිම අවසන් වෙද්දී පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ලබා සිටියා. ඊට අමතර ව Rahmawati Pangestuti පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා ගත්තා.
එම ඉනිමේ අනෙක් සෑම පිතිකාරිනියකගේ ම ඉනිම් තනි ඉලක්කමකට සීමා වීමත් සමඟින් ඔවුන් ශ්‍රී ලංකාව ඉදිරියේ තම විස්සයි විස්ස තරග ඉතිහාසයේ දුර්වල ම ඉනිම් අතර තෙවැනි ඉනිම වාර්තා කරනවා.
ඔවුන් ඒ තත්ත්වයට පත් කිරීමේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 21ක් තුළ දී ලකුණු 5ක් පමණක් ලබා දී කඩුලු 7ක් දවා ගැනීමට සමත් වෙනවා. එය කාන්තා ආසියානු කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නියක ඉනිමක පෑ ඉහළ ම දක්ෂතාව වූ අතර චමරි අතපත්තුගේ විස්සයි විස්ස තරග ඉතිහාසයේ ද හොඳම පන්දු යැවීම බවටත් පත් වූණා. ඇය ගේ මෙම කඩුලු අතර කඩුලු ත්‍රිත්වයක් වාර්තා වීම ද කැපී පෙණුනා.
එහි දී ඇය තමන් විසින් යැවුණ අවසන් පන්දු ත්‍රිත්වය වාර්තා කරන්නේ Ni Ariani (2), Sang Maypriani (0) සහ Dara Paramitha (0) පිට පිට පන්දු 3ක දී දවා ගනිමිනුයි. මෙම කඩුලු ත්‍රිත්වය ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස තරග ඉතිහාසයේ පන්දු යවන්නියක විසින් ලබා ගත් පළමු කඩුලු ත්‍රිත්වය බවට ද පත් වුණා.
ඇයට අමතර ව කවීෂා දිල්හාරි, සුගන්දිකා කුමාරි සහ කාව්‍යා කාවින්දි කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 124 (20.0) නිලක්ෂිකා සිල්වා 50, කාව්‍යා කාවින්දි නොදැවී 15, Sang Maypriani 2/19, Ni Luh Dewi 3/32
ඉන්දුනීසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 49 (18.3) Ni Made Putri Suwandewi නොදැවී 12, චමරි අතපත්තු 7/05
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 75ක ජයක්.
- තරගයේ වීරයා – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)
2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 6 වැනිදා බංග්ලාදේශය සමඟින් Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















