යෝකර් කිං – ලෝකෙම කිං

1368

ලොව ප්‍රසිද්ධම ක්‍රිකට් සඟරාව වන විස්ඩන් සඟරාව පසුගිය දා එදා මෙදාතුර ලොව බිහි වූ විශිෂ්ටතම විස්සයි විස්ස පන්දු යවන්නා තෝරාගැනීම සඳහා සාකච්ඡා වැඩසටහනක් (Podcast) පැවැත්විය. 

සාකච්ඡා වට කීපයකින් අනතුරුව ඔවුන් විසින් එදා මෙදාතුර ලොව බිහි වූ විශිෂ්ටතම විස්සයි විස්ස වේගපන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග තෝරාගෙන තිබුණි.

Black Lives Matter එංගලන්ත – කොදෙව් සටනට

CricViz වෙබ් අඩවිය හා එක්ව සිදු කළ මෙම තෝරාගැනීම සඳහා එම වෙබ් අඩවියේ ක්‍රිකට් විශ්ලේෂකයෙකු වන ෆ්‍රෙඩී වයිල්ඩි සහ එංගලන්ත හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන තයිමල් මිල්ස් එක්විය. 

සාකච්ඡාව සඳහා එක්වෙමින් ෆ්‍රෙඩී වයිල්ඩි විස්සයි විස්ස තරග තුල වේගපන්දු යවන්නන්ගේ භූමිකාවේ ඇති ප්‍රබලත්වය පිළිබඳව අදහස් දක්වා තිබුණි. 

“විස්සයි විස්ස තරග රටාව තුල අමාරුම කාර්‍යභාරය වේගපන්දු යැවීම කියලා අපිට කියන්න පුළුවන්. ඒ නිසා මේ තේරීම ගොඩක් අමාරු තේරීමක් වුනා.

විස්සයි විස්ස තරග රටාවේ වඩාත්ම ඵලදායී පන්දුව වන යෝකර් පන්දු යැවීමේ දී මාලිංගගේ කාර්යක්ෂමතාව කාටවත් දෙවැනි වන්නේ නැහැ. එය ලැබෙන්නේ ඔහු පන්දු යවන ඉරියව්ව නිසා. එම සුවිශේෂී ඉරියව්වෙන් යෝකර් පන්දුව පහසුවෙන් එල්ල කරන්න ඔහුට පුළුවන්. ඔහුට වෙනත් ඕනෑම පන්දු යවන්නෙක්ට වඩා ඵලදායි ලෙස යෝකර් පන්දු යැවීම ඔහුගේ සාර්ථකත්වයයි. මාලිංග යෝකර් පන්දු සමඟ ලබා ගත් සාර්ථකත්වය ප්‍රතිශතයක් විදියට 63%ක්. එය විස්සයි විස්ස තරග තුල වැඩිම සාර්ථකත්වය. ඔහුට යෝකර් පන්දුව අතපසු වෙලා ෆුල් ටොස් පන්දුවක් යැවුනත් ඒකට පහර දෙන්න ගොඩක් අමාරුයි.”

“මම හිතන්නේ ඔහු දීර්ඝ කාලයක් තුල ලබා ගත් අත්දැකීම් තමා එහි රහස. ඔහු ලොකු කාලයක් දීප්තිමත් වෘත්තිය ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩා කරනවා. ඔහු නිරන්තරයෙන් ජාත්‍යන්තර තරගාවලි වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි, ලෝක කුසලාන තරගාවලි වගේම මෙල්බර්න් ස්ටර්ස් කණ්ඩායම සමඟ බිග් බෑෂ් තරගාවලියටත් ක්‍රීඩා කළා. ඔබට ලෝකයේ හොඳම යෝකර් පන්දු යවන්නා විය හැකි නම් අවිවාදයෙන් ඔබ ලෝකයේ හොඳම පන්දු යවන්නා වෙනවා” යැයි තයිමල් මිල්ස් පවසා සිටියා.

කොදෙව් නායකයාගෙන් ඉහළ පුටුවලට සැර ප්‍රකාශයක්!

1983 වසරේ අගෝස්තු මස 28 ගාල්ලේ උපත ලැබූ ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වන්නේ 2004 වසරේ දී ය. තමන්ටම ආවේණික වූ පන්දු යැවීමේ ශෛලියක් ක්‍රිකට් ලෝකයට හඳුන්වා දුන් ලසිත් මාලිංග නොබෝ කලෙකින්ම ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරයට පාත්‍රවිය. 

ඔහු ලොව ප්‍රබල පිතිකරුවන් තම යෝකර් පන්දු ඉදිරියේ දණගස්වන්නට සමත්වන්නේ මෙරට ක්‍රිකට් රසිකයන් තුල නවමු බලාපොරොත්තු ඇති කරමිනි. 

ඉන්දීය ප්‍රිමියර් ලීග්, බිග් බෑශ් වැනි ලොව ප්‍රමුඛ පෙළේ තරගාවලි සඳහා වැඩිම ගෙවීමක් සහිත ක්‍රීඩකයෙකු ලෙස සහභාගී වන මාලිංග එම සියලු තරගාවලි තුල තම ආධිපත්‍යය පතුරවන්නට සමත් විය. 

2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උපනායකයා ලෙස කටයුතු කළ ඔහු අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සපයමින් ශ්‍රී ලංකාවේ වසර 18ක ලෝක කුසලාන නියඟය නිමා කළේ මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සඵල කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස තරග 84කට ක්‍රීඩා කර ඇති මාලිංග එහි දී කඩුලු 107ක් ලබාගෙන ඇත. විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග තුල කඩුලු 100 සීමාව පසු කළ එකම පන්දු යවන්නා වන්නේ ද මාලිංගය.

සාර්ථකම ඉන්දීය නායකයා දෝනි ද? කෝලි ද? රෝහිත් ද?

විස්සයි විස්ස තරග තුල කඩුලු ත්‍රිත්වයන් දෙකක් තම නම ඉදිරියේ සටහන් කරගෙන ඇති මාලිංග එම දක්ශතාවය දැක්වූ එකම ක්‍රීඩකයා වේ. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවති තරගයක දී පන්දු හතරක් තුල කඩුලු හතරක් දවා ගනිමින් තම නාමය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල රනින් ලිවීමට ලසිත් මාලිංග සමත් විය. 

ලසිත් මාලිංගට අමතරව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ සෙසු ක්‍රීඩකයන් මෙසේයි. 

  • ඩේල් ස්ටේන් – දකුණු අප්‍රිකාව
  • වහාබ් රියාස් – පාකිස්තානය
  • මිචෙල් ස්ටාර්ක් – ඕස්ට්‍රේලියාව
  • මොහොමඩ් අමීර් – පාකිස්තානය
  • ඩ්වේන් බ්‍රාවෝ – බටහිර ඉන්දීය කොදෙව් 
  • ජාස්ප්‍රිත් බුම්‍රාහ් – ඉන්දියාව

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<