කොදෙව් නායකයාගෙන් ඉහළ පුටුවලට සැර ප්‍රකාශයක්!

254

සමේ පැහැය මත පදනම්ව ගෙන යන පටු වර්ණවාදී අදහස් අප සමාජයෙන් තුරන් කර දැමිය යුතු කාලය එළඹ ඇතැයි සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම පසුගිය දා අවධාරණය කර සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව තුල ද ඕනෑ තරම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඉතාමත් සුලබව අසන්නට, දකින්නට ලැබෙන නිසාවෙනි.

“එදා මට ඔහුට කතා කරන්න බැරි වෙච්ච එක ගැන කනගාටු වෙනවා”

ඩැරන් සැමී, ක්‍රිස් ගේල්, ඩුවේන් බ්‍රාවෝ වැනි සුපිරි කොදෙව් ක්‍රීඩකයින් රැසක්ම මෙම වර්ණවාදී විරෝධී ව්‍යපාරයෙහි ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස ඔවුන්ගේ සක්‍රිය දායකත්වය ලබා දෙමින් සිටින අතර ප්‍රසිද්ධියේම තම මතයන් ඉදිරිපත් කරමින් කළු ජාතික ක්‍රීඩකයින් හට මුහුණ පෑමට සිදුව ඇති අකටයුතුකම්වලට එරෙහිව හඬ නැඟීමට ඔවුන් මේ වන විට පෙළගැසෙමින් සිටින බව වාර්තා වේ.

මෙතෙක් කලක් මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඔවුන්ගේ පෞද්ගලික මතයන් ලෝකයා හමුවේ ගෙන හැර පෑමට සූදානමින් පසුවන්නේ දුර්මතධාරීන්ට එරෙහිව ගෙන යන එම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමිනි. වත්මන් කොදෙව් කණ්ඩායම් නායක ජේසන් හෝල්ඩර් ද තම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් සමඟ එකට එකතු වෙමින් ඔවුන් ගෙන යන මෙහෙයුමට සහය පළ කිරීමට තීරණය කොට තිබෙන්නේ මේ නිසාවෙනි.

තහනම් උත්තේජක සහ තරග පාවාදීම් සම්බන්ධයෙන් ඉහළ පෙළේ නිලධාරීන් අනුගමනය කරන දැඩි නීතිමය ක්‍රියා පිළිවෙත් මෙවැනි අතිශය සංවේදී කාරණාවන් සඳහා බලාත්මක නොවන්නේ මන්දැයි ප්‍රශ්න කරන හෝල්ඩර් එහි දී පෙන්වා දී සිටියේ මින් ඉදිරියට මෙම වර්ණවාදී ගැටලුව හා සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම ICCය සතු වගකීමක් බවයි.

සාර්ථකම ඉන්දීය නායකයා දෝනි ද? කෝලි ද? රෝහිත් ද?

“අපේ ක්‍රීඩාව ඇතුළේ මොනාහරි ගැටලු තියෙනවා නම් ඒ හැම එකකට එක හා සමානව පිළිතුරු ලබා දිය යුතුයි. තහනම් උත්තේජක, තරග පාවාදීමේ සිද්ධීන් වලට දැඩි දඬුවම් ලබා දෙනවා වගේම වර්ණවාදය සම්බන්ධ ගැටලු සුළුවෙන් තකලා ඉවත් කරලා දානවා නම් අපි ඒකට එකහෙළා විරුද්ධයි.”

මෙවැනි අර්බුදකාරී තත්වයක් පැන නැඟුනහොත් එවැනි අවස්ථාවක දී ක්‍රියා කළ යුතු සහ දඬුවම් ලබා දිය යුතු ආකාරය පිළිබඳ ICC නීති සංග්‍රහයේ ජාතිවාදී විරෝධී වගන්තියෙහි ඇතුලත්ව තිබෙන අතර යම් ක්‍රීඩකයෙකු එම වරද තෙවතාවක් සිදු කර ඇත්නම් ඔහුට හෝ ඇයට එරෙහිව ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමේ හැකියාව ICCය සතු වන බව එහි සඳහන් වේ. 

පළමු වරට එවැනි වරදකට හසු වූ ක්‍රීඩකයෙකු හට ටෙස්ට් තරග හතරක් සහ එක්දින තරග අටක් ක්‍රීඩා කිරීමේ වරම අහිමි කිරීමට ද ICCය සතුව ප්‍රමාණවත් බලයක් ඇති අතර දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩිලේ ෆෙලුක්වායෝ ඉලක්ක කරගනිමින් හිටපු පාකිස්තාන නායක සෆ්‍රාස් අහමඩ් සිදු කළ ප්‍රකාශයක් නිසාවෙන් ටෙස්ට් තරග හ‍තර තහනමකට මුහුණ පෑමට සෆ්‍රාස් හට සිදු වීම ඊට ආසන්නතම නිදසුනකි.

ඉන්දීය නායකයා ලෙස Dhoni ගත්ත සුපිරි තීරණ 5ක්

මීට අමතරව හෝල්ඩර් විසින් පෙන්වා දුන් අනෙක් කාරණාව නම් සෑම තරගාවලියක්ම දියත් කිරීමට පෙරාතුව මෙම වර්ණවාදී, ජාතිවාදී ප්‍රකාශයන් සිදු කිරීමෙන් ක්‍රීඩකයින් හට එල්ල විය හැකි බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර හැකි නම් මෙම ගැටලුව තරමක් දුරට හෝ පාලනය කරගැනීමට එය උපකාරී වනු ඇති බවයි.

“මට හිතෙන්නේ ගොඩක් දෙනෙක් මේ ගැන දැනුවත්භාවයකින් නෙමෙයි කටයුතු කරන්නේ. ඔවුන් මේක ඉතාමත් සරල කාරණාවක් විදියටයි දකින්න උත්සාහ කරන්නේ. මම පෞද්ගලිකව තාම ඔය වගේ සිදුවීමකට මුහුණ දීලා නැති උනාට මාත් එක්ක ක්‍රීඩා කරන සහෝදර ක්‍රීඩකයෝ ඔය ප්‍රශ්නය නිසා බැට කනවා මම දැකලා තියෙනවා. ඒක නිසා හැම තරගාවලියක්ම පටන් ගන්න කලින් මේ ගැන දැනුවත් කිරීමක් කරන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<