මඩේ ලගින දැල්පන්දුව

468
Whats wrong with our Netball team

ක්‍රීඩාවේ ජයග්‍රහණය පසෙක තබා කෙස්‌වලු පටලවා ගැනීමේ උත්සහය නිසා ශ්‍රී ලංකාවේ දැල් පන්දුව කොටස්‌ කීපයකට කැඩී ගොස්‌ ඇති සෙයකි. දැල්පන්දුවේ මුල් පුටුවද දැන් මේ පටලැවිල්ල ලිහා දමන්නට වෙහෙසනවාට වඩා වෙනත් යමක්‌ කිරීමට කල් නැති සෙයකි. එබැවින් දැල තුළ සිරවී ඇති දැල්පන්දුව ගොඩ දැමීමට නොහැකි වුනොත් ආසියානු කුසලානයේදීද පිට පිටම පරාජයේ හැට්‌ට්‍රික්‌ එකක්‌ ශ්‍රී ලංකාවේ නම ඉදිරියේ සටහන් වේ.

ආසියාවේ දැල්පන්දු රැජිනියන් ලෙස විරුදාවලිය ලබා සිටි ශ්‍රී ලංකා දැල්පන්දුව දැන් නන්නත්තාර වීමේ මඩ ගොහොරුවක පැටලී තිබේ. ඊට හේතුව බල තණ්‌හාව හෙවත් “ඩබල් ගේම්” ක්‍රියාදාමයයි. කෙසේ වෙතත් 10 වැනි ආසියානු දැල්පන්දුවට යන ශ්‍රී ලංකා කණ්‌ඩායමට සද්භාවයෙන් තල්ලුවක්‌ නොලැබුණහොත් ප්‍රතිඵලය භායනක බවද කල් තියා අපි මතක්‌ කර සිටිමු.

පසුගිය ලිපි: ජාතික දැල්පන්දු සංචිතයේ පුහුණුවීම්වලට ‘බකට්‌’ එකක්‌

ලබන ජුලි මස 31 වැනිදා සිට අගෝස්‌තු මස 7 වැනිදා දක්‌වා තායිලන්තයේ පැවැත්වෙන දැල්පන්දු ශූරතාව සඳහා අවසන් සංයුතිය ගැලපීමේ තේරීම් පරීක්‍ෂණ මෙම සති අන්තයේ (7 සහ 8) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා 18 දෙනෙක්‌ මේ වන විටත් නම්කර ඇති අතර ඉන් හය දෙනෙකු සංචාරයෙන් ඉවත්කිරීමේ වගකීම තේරීම් කමිටුවේ කර මත පැටවී තිබේ.

ජාතික දැල්පන්දු තේරීම් කමිටු සභාපතිනිය මෙවර ජාතික, ජාතියේ සිටි සෑම ක්‍රීඩිකාවක්‌ ගැනම මුල සිට අග දක්‌වා දන්නවාද යන්න අපි නොදනිමු. කෙසේ වෙතත් ජාතික දැල්පන්දු කණ්‌ඩායමේ සාමාජිකාවන් ලෙස ලේබලය ගසාගෙන පරිපාලනයේ ගුණ දොස්‌ විවේචනය කරමින් පුහුණුවීම් මග හරින ඇතැම් ක්‍රීඩිකාවන් වෙනුවෙන් විනය ක්‍රියාදාමයක්‌ ගැනීමේ පිළිවෙතක්‌ ශ්‍රී ලංකා දැල්පන්දුව තුළ නොමැති වීමද කණගාටුවට කරුණකි.

පසුගිය වතාවේ ආසියානු කණිෂ්ට දැල්පන්දු ශූරතාව දිනා ගනිමින් ශ්‍රී ලංකා දැල්පන්දුව ජීවයක්‌ ලැබුවද එහි පන්නරය අක්‌කලාගේ කණ්‌ඩායමට ගෙන ඒමට පරිපාලනයට නොහැකි වී තිබේ. ඊට හේතුව කකුලෙන් අදින්නට පිරිස්‌ වැඩිවීමය. කණ්‌ඩායමේ තේරීම් කරන නෝනලා ඒ අයගේ මතයේය. පුහුණුකාරිණිය තවත් මතයකය. ක්‍රීඩිකාවන්ද තවත් නෝනලාගේ අණට ඇහුම්කන් දෙමින් සිටියි. ඒ අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ “බකට්‌” දමා සංචිතවලට සහභාගි නොවී සිටිති. මේ පටලැවිලි කෙසේ වෙතත් ශ්‍රී ලංකා දැල්පන්දු පිලට දැන් ආසියානු කුසලාන සඳහා සහභාගි වීමට නියමිතව ඇත.

‍තවත්  පුවත් සිංහලෙන් – පිවිසෙන්න

ලබන වසර වන තෙක්‌ දැල්පන්දුවට නිලවරණයක්‌ නොතිබීම එහි පරිපාලනයට පොර කන නෝනලාට කණස්‌සල්ට හේතුවී තිබේ. ක්‍රීඩා ඇමැතිවරයා අන්දවා දැල්පන්දු අතුරු කමිටුවක්‌ පත්කිරීමට ඇතමුන් උත්සහ කළත් දයාසේකර ජයසේකර මහතා අතුරු කමිටුවලට අකමැතිය. යසා රාමචන්ද්‍ර මහත්මියගේ පරිපාලනයට මේ සියලු කාරණා විසඳාගෙන ඉදිරියටත් ශ්‍රී ලංකා දැල්පන්දුව ඇදගෙන යැමේ මෙහෙයුම දියත් කිරීමට සිදුව තිබේ.

එළැඹෙන ආසියානු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව තරග වදින්නේ “බී” කාණ්‌ඩයෙනි. එම කාණ්‌ඩයේ සෙසු කණ්‌ඩායම් වන්නේ මැලේසියාව, බෲනායි, ජපානය, ඇෆ්ගනිස්‌ථානය සහ එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයි. ආසියානු දැල්පන්දු ශූරියන් වන සිංගප්පුරුව “ඒ” කාණ්‌ඩයෙන් තරගයට පිවිසෙන අතර එම කාණ්‌ඩායට හොංකොං, චීන තායිපේ, තායිලන්තය හා මාලදිවයින තරග වදිනු ලබයි.

ඉතිහාසයේ සිංගප්පුරුවට දැල්පන්දුව ඉගැන්වූ ශ්‍රී ලංකාව දැන් සිංගප්පුරුවටත් පරදියි. අපෙන් පාපන්දු ඉගෙන ගත් මාලදිවයින අපිටම පහර දෙති. බංග්ලාදේශය කොපි කළ අපේ රටේ ක්‍රිකට්‌ කලාව දැන් අපිටම පහර දෙති. මේ සියල්ලටම මුල පරිපාලනය අවුල් ජාලයක්‌ වීම හෙවත් කඹ ඇදිල්ලය. ඉදිරියේදී ඇති ලොකුම ශූරතාව ආසියානු ශූරතාවය. එබැවින් ඒ සඳහා හැඩ ගැසීමට අදාළ බළධාරීන් යුහුසුළුව කටයුතු කර යුතුව තිබේ.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න