Wahab Riazට වැඩ වරදියි!

394
Wahab Riaz

මේ වන විට පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලියක් වන සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තාන සංචාරය අතරතුර පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Wahab Riaz ඛේටය යොදාගනිමින් පන්දුව ඔපදැමීම ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

පසුගිය පෙබරවාරි-මාර්තු කාලවල දී ලොව පුරා පැතිර යාමට පටන්ගත් නව කොරෝනා වයිරසය නිසා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වූ බලපෑම අතිමහත්ය. ලෝක කුසලාන තරගාවලි, ද්වීපාර්ශ්වික තරගාවලි අවලංගු වීමේ සිට නව නීතිරීති සම්පාදනය දක්වා එහි බලපෑම ඇතිවිය. 

කොරෝනා වයිරසයෙන් පසුව නැවත ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආරම්භ කිරීමට රටවල් කීපයක් පියවර ගෙන තිබුණි. ඒ දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති රීති වලට අනුවය. 

කොරෝනා වයිරසය නිසා ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දුන් නවතම නීතිය ලෙස පන්දු ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කිරීම තහනම් කිරීම දැක්විය හැක. බොහෝ දෙනාගේ මේ පිළිබඳව අවධානය යොමු කර තිබුණි. කෙසේ වෙතත් මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර ක්‍රීඩකයන් කීපදෙනෙකු මෙම නීති උල්ලංඝනය කරන හෝ උල්ලංඝනය කිරීමට ආසන්න අවස්ථාවන් කීපයක් වාර්තා විය. 

සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට අදාලව අද (07) පැවති පළමු විස්සයි විස්ස තරගය අතරතුර Wahab Riaz මෙලෙස ඛේටය යොදාගෙන පන්දුව ඔපදමා තිබුණි. 

කෙසේ වෙතත් මෙම සිදුවීම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ Aleem Dar සහ Asia Yaqoob විසින් නිරීක්ෂණය කර තිබූ අතර ඉන් අනතුරුව ඔවුන් Wahab Riaz හට පන්දුව බිම තබන ලෙස පවසා තිබුණි. ඉන් අනතුරුව අතිරේක විනිසුරුවන් විසින් විෂබීජනාශක ද්‍රව්‍ය ගෙන ආ අතර තරගය නැවත ආරම්භ වූයේ පන්දුව විෂබීජහරණය කිරීමෙන් අනතුරුවය.

රාවල්පිණ්ඩිහිදී පැවති මෙම තරගයේ දී සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Wahab Riaz හට දැඩි ලෙස අවවාද කිරීමට විනිසුරුවන් ක්‍රියා කළේය.

තරගයේ සිම්බාබ්වේ ඉනිමේ 11 වැනි පන්දුවාරය වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 77ක් ලබා සිටියා. එහි දී නව පන්දුවාරය ආරම්භ කිරීමට පැමිණි Wahab Riaz අත්වැරදීමකින් මෙලෙස ඛේටය යොදාගෙන පන්දුව ඔපදැමීම සිදුකර තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විනිසුරුවන් දැඩි ආරක්ෂාකාරී ක්‍රියාවලියක් අනුගමනය කළ අතර ඒ වන විට විස්තර විචාරක ලෙස කටයුතු කළ Ramiz Raja එය විස්තර කරමින් කියා සිටියේ විනිසුරුවන් අත්බෝම්බයක් නිෂ්ක්‍රීය කරන ආකාරයෙන් එය විෂබීජහරණය කළ බවයි.

තවත් ක්‍රිකට් පුවත්: 

පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කිරීම සමඟින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිකුත් කළ නීතිරීතිවලට අනුව යම් ක්‍රීඩකයෙකු ඛේටය යොදාගෙන පන්දුව ඔපදැමීමක් වාර්තා වුවහොත් ඔහුට අවවාද කිරීමට විනිසුරුවන්ට බලය ඇත. කෙසේ වෙතත් යම් කණ්ඩායමක් තරගයක් තුල තෙවරක් එලෙස ඛේටය යොදාගෙන පන්දුව ඔපදැමීමක් සිදු කළහොත් පන්දුවට පහර දෙන කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් හිමි වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිවල දී මෙලෙස පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කිරීම පිළිබඳව සිදුවීම් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර පැවති පාකිස්තාන එංගලන්ත විස්සයි විස්ස තරගාවලියේ දී පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Amir එලෙස ඛේටය භාවිතා කරමින් පන්දුව ඔපදැමීමක් වාර්තා වූ අතර ඒ පිළිබඳව විනිසුරුවන් විසින් ඔහුට අවවාද කර තිබුණි.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Royal Challengers Bangalore නායක Virat Kohli ද මෙලෙස ඛේටය යොදාගෙන පන්දුව ඔපදැමීමට උත්සාහ කර තිබූ අතර පසුව ඔහු විසින් එය වළක්වා ගෙන තිබුණි. Rajasthan Royals ක්‍රීඩක Robin Uthappa ඛේටය යොදාගෙන පන්දුව ඔපදමන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඔහුට ඒ සම්බන්ධයෙන් අවවාද කිරීමක් සිදු කර තිබුණේ නැත. 

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<