ඔහු කණ්ඩායමේ නැත්නම් ඒක අවාසනාවක් – ගාම්භීර්

6362

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය සඳහා ඉන්දීය ක්‍රීඩක Hanuma Vihari අනිවාර්‍ය්‍යෙන්ම ඇතුළත් විය යුතු බව හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු Gautam Gambhir පවසා තිබෙනවා.

පසුගිය දා නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී Hanuma Vihari තීරණාත්මක ඉනිමක් ක්‍රීඩා කළා.

Hanuma Vihari දස්කම් සහ ඔහුට ලැබුණු අවස්ථා පිළිබඳව අදහස් දක්වමින් හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු Gautam Gambhir අවධාරණය කර ඇත්තේ Hanuma Vihari එළඹෙන කේප් ටවුන් ටෙස්ට් තරගය සඳහා ඉන්දීය කණ්ඩායමට ඇතුළත් නොවන්නේ නම් එය “ඉතා අවාසනාවන්ත” බවයි.

ජොහැන්නස්බර්ග් හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී ඉන්දියාව ලකුණු 266ක් වාර්තා කළ අතර ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන Cheteshwar Pujara සහ Ajinkya Rahane එහි දී අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල සඳහා එක් කළ සම්බන්ධතාවය ලකුණු 111ක්. එහි දී ඔවුන් දෙදෙනාම වේගවත් ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගත් අතර Pujara සිය ලකුණු 53ට පන්දු 86ක් වැය කළ අතර Rahane පන්දු 76ක දී ලකුණු 56ක් ලබා ගෙන තිබුණා.

ඉන්දීය දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය අතරතුර ආබාධයකට ලක් වූ Virat Kohli වෙනුවට කණ්ඩායමට ඇතුළත් වූ Hanuma Vihari මෙම ටෙස්ට් තරගයේ දී පසු අංක 5 ස්ථානයේ ක්‍රීඩා කළා.

Hanuma Vihari දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුනා. ඔහුගේ ඉනිමේ විශේෂත්වය වූයේ ඉන්දීය පසුපෙළ ක්‍රීඩකයන් සමඟින් වැදගත් සබඳතාවයන් ගොඩනැගීමට සමත් වීමයි.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත මීළඟ ටෙස්ට් තරගය සඳහා Virat Kohli නැවත කණ්ඩායමට පැමිණීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග පවසා තිබුණා. එවන් වටපිටාවක් තුළ Hanuma Vihari කණ්ඩායමෙන් ඉවත් කරන්නේ නම් එය

විශාල අසාධාරණයක් වන බව හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු Gautam Gambhir අවධාරණය කර තිබුණා.

ටෙස්ට් ක්‍රිකට් ආකෘතියේ තමන්ට කළ හැකි දේ ඔප්පු කිරීමට Vihariට බොහෝ අවස්ථාවන් ලබා දී නොමැති බවත් වසරකට ආසන්න කාලයක් තරමක පසුබෑමකට ලක්ව සිටින Rahaneට සමාන අවස්ථාවක් ඔහුට ද ලැබිය යුතු බව ගාම්භීර් පවසා සිටියා.

“Hanuma Vihari මීළඟ ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ නැත්නම් එය ඉතා අවාසනාවන්තයි සහ අසාධාරණයි. Rahane අර්ධ ශතකයක් ලබාගෙන තියෙනවා කියලා කවුරුහරි කියනවා නම් Hanuma Vihari නොදැවී ලකුණු 40ක් ලබා ගෙන තියනවා. Vihari Rahaneගේ ස්ථානයේ පන්දුවට පහර දුන්නා නම් ඔහුටත් අර්ධ ශතකයක් ලබා ගන්න හැකියාවක් තිබුණා. ඒ වගේම ඔහු ඉනිම් දෙකේ දී ම මනා පාලනයෙන් යුතුව ක්‍රීඩා කරලා තියනවා”, Gambhir Star Sports වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

“Hanuma Vihari වගේ ක්‍රීඩකයෙක්ට ස්ථාවර වෙන්න දිගු කාලයක් දෙන්න ඕනේ. ඔහුට එක තරගයක් පමණක් ක්‍රීඩා කරන්න දීලා ඉන්පසුව වසරේ ඉතිරි කාලය සඳහා ඔහුව ඉවත් කරනවා. ඒක හරිම අසාධාරණයි. අපි දැන් ගොඩක් කාලෙක ඉඳන් Rahaneගේ දස්කම් දැක්කා. ඉතින් මම හිතන්නේ Virat Kohli මීළඟ ටෙස්ට් තරගයේ දී නැවත කණ්ඩායමට ආවාම විට ඔහු Hanuma Vihari එක්ක අංක 4 සහ 5 විදිහට පන්දුවට පහර දෙන්න ඕනේ. ඉන්දීය කණ්ඩායම ඉදිරියට යද්දී ඒක මම හිතන්නේ එය නිවැරදි දිශාවට ගන්නා නිවැරදි පියවරක් වේවි.”

තවදුරටත් අදහස් දක්වමින් Gambhir Hanuma Vihari ඉනිම දෙකේ දී ම “ස්ථාවර” වූ බවත් එම දස්කම් කේප් ටවුන් ටෙස්ට් තරගයේ දී ස්ථානයක් ලැබීමට සුදුසු බවත් පවසා සිටියා.

“ඉන්දීය කණ්ඩායම් කළමනාකාරිත්වය Rahane මෙතරම් විශ්වාස කරලා සහයෝගයක් ලබා දීලා තියෙනවානම් ඔවුන් Hanuma Vihari ගැනත් විශ්වාසය තබන්න ඕනේ. මේ ඒකට කාලයයි. ඔහු පළමු සහ දෙවන ඉනිම දෙකේදීම ශක්තිමත්ව සිටියා”, හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු Gautam Gambhir පවසා සිටියා.

Hindustan Times ඇසරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<