එංගලන්තයේ අපරාජිත බව නිමා වුවත් දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු අවසන් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

226
England Vs South Africa

ICC ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් ලෙස අද (06) දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර සාජා හිදී පැවැත්වුනා. එම තරගයෙන් ලකුණු 10ක තියුණු ජයක් හිමි කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූ නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දළ ලකුණු ලබාගැනීමේ වේගය අභිබවා යාමට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබුනේ නැහැ.

ඒ අනුව සුපිරි 12 වටයේ අපරාජිතව පැමිණි එංගලන්ත කණ්ඩායමේ අපරාජිත ගමන් මග දකුණු අප්‍රිකාව හමුවේ නැවතී ගියත් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ දළ ලකුණු ලබාගැනීමේ වේගය මත පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා තේරී පත්වුනා.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්:

දකුණු අප්‍රිකාව – Quinton de Kock (wk), Reeza Hendricks, Aiden Markram, Temba Bavuma (capt), Rassie van der Dussen, David Miller, Dwaine Pretorius, Kagiso Rabada, Keshav Maharaj, Anrich Nortje,  Tabraiz Shamsi.

එංගලන්තය – Jason Roy, Jos Buttler (wk), Dawid Malan, Jonny Bairstow, Liam Livingstone, Eoin Morgan (capt), Moeen Ali, Chris Woakes, Chris Jordan, Adil Rashid, Mark Wood.

එංගලන්තයේ ආරාධනය සමඟ පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 189ක දැවැන්ත ඉලක්කයක් වෙත ඇදී ගියා. ඔවුන්ගේ පළමු කඩුලු 2ක ලකුණු 86ක් තුළ දවා ගැනීමට එංගලන්ත දඟපන්දු යවන්නන් සමත් වුනා. ඒ වන විට දකුණු අප්‍රිකානු ඉනිමේ පන්දුවාර 11කුත් පන්දු 2ක් අවසන්ව තිබුනා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගිය de Kock හතරේ පහර 4ක් සමඟ පන්දු 27ක දී ලකුණු 34ක් රැස් කරගත්තා.

අනතුරුව තෙවන කඩුල්ල වෙනුවෙන් van der Dussen සමඟ පිටියේ එක්වුනු Markram තෙවන කඩුල්ල සඳහා නොදැවුනු ලකුණු 103*ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම සවිමත් කළා. ඔවුන් දෙදෙනාම අද දිනයේ දී සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලබාගත් 6වන අර්ධ ශතකය සම්පූර්ණ කිරීම කැපී පෙනුනා. ඉනිමේ කොඳු නාරටිය බවට පත්වෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් එල්ල කරමින් පන්දු 60ක දී හැඩ ගැන්වුනු van der Dussenගේ ඉනිම ලකුණු 94*කට සීමා වුනා. එය ඔහුගේ ජාත්‍යන්තර T20 පිටියේ ඉනිමක දී රැස් කරගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය ද වුනා.

අනතුරුව පිටියට පිවිසි Markram ද 208.00ක සුපිරි ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් පන්දු 25ක දී වේගවත් ලකුණු 52*ක් වාර්තා කරගත්තේ එංගලන්ත අවසන් පන්දුවාර සැලසුම් දුර්වල බව නැවත වතාවක් ඔවුන්ට සිහි ගන්වමින්. පන්දු යැවීමේ දී Moeen Ali සහ Adil Rashid එක් කඩුල්ල බැඟින් දවා ගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 190ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Buttler සහ Roy යුගලයේ සබඳතාවය ඉතාමත් ඉක්මණින් අවසන් වුනේ Jos Buttlerගේ දැවී යාමත් සමඟයි. Moeen Ali සහ Dawid Malan වාර්තා කළ ලකුණු 30+ට වඩා වැඩි ඉනිම හැරෙන්නට එංගලන්ත අනෙකුත් පිතිකරුවන් හට ඔවුන් අභිබවා ගොස් සාර්ථක වීමට හැකියාවක් ලැබුනේ නැහැ. Liam Livingstone ලකුණු 28යි.

Kagiso Rabada ඇතුළු දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් තරගයේ වැඩි වාසිය සියතට ලබාගෙන අවසන් පන්දුවාර කිහිපය හොඳින් කළමනාකරණය කරගත්තා. Moeen Aliගේ ඉනිම සඳහා හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා. Kagiso Rabada එංගලන්ත පිතිකරුවන් දැඩි අභියෝගයට ලක්කළ පන්දු යවන්නෙකු වුනු අතර Rabada සිය නියමිත පන්දුවාර 4 තුළ ලකුණු 48ක් ලබා දෙමින් කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේ තරගයේ උණුසුම් බව බිඳ හෙළීමට අවස්ථාවක් ලබානොදෙමිනි. ඊට අමතරව Tabraiz Shamsi කඩුලු 2ක් දවා ගත් නමුත්, තරගයේ වීරයා සම්මානය හිමි වුනේ පිතිකරණයෙන් දායක වුනු Rassie van der Dussen වෙතයි.

ලකුණු සාරාංශය,

දකුණු අප්‍රිකාව – 189/2 (20): Rassie van der Dussen 94*, Aiden Markram 52*, Quinton de Kock 34, 1/32.

එංගලන්තය – 179/8 (20): Moeen Ali 37, Dawid Malan 33, Liam Livingstone 28, Kagiso Rabada 3/48, 2/24.

  • තරගයේ වීරයා – Rassie van der Dussen (දකුණු අප්‍රිකාව)

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<