දිනුර, විහස්, මල්ෂ දක්ෂතා දැක්වූ යොවුන් ටෙස්ට් තරගාවලිය

කොදෙව් යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

197
West Indies U19 Team Tour of Sri Lanka 2023

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති යොවුන් ටෙස්ට් තරගාවලිය ද 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා.

තරග 2කින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවැනි තරගයේ දී කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යෞවනයෝ සමත් වුනා. 

මීට පෙර දෙරට අතර පැවති යොවුන් එක්දින තරගාවලියේ ද ජයග්‍රහණය සතු වූයේ ශ්‍රී ලංකා යෞවනයන්ටයි. 

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: සිනෙත් ජයවර්ධන (නායක), මල්ෂ තරුපති (උපනායක), විශ්ව රාජපක්ෂ, දිනුර කළුපහන, විහස් තෙව්මික, ගරුක සංකේත, විශ්ව ලහිරු, කවීෂ පියුමාල්, පැතුම් මලිත, පුලිඳු පෙරේරා, රවිශාන් ද සිල්වා, රුසඳ ගමගේ, රුවිෂාන් පෙරේරා, ශාරුජන් ෂන්මුගනාදන් (කඩුලු රකින්නා), විශේන් හැලඹගේ, හිරාන් ජයසුන්දර, දිනිරු අබේවික්‍රමසිංහ, ජනිත් ප්‍රනාන්දු, සුපුන් වඩුගේ, තරණ විමලධර්ම. 

පළමු තරගය 

කාසියේ වාසිය – ශ්‍රී ලංකාව 

  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම පන්දුවාර 105ක දී කඩුලු 8ක් දැවී 432 (දිනුර කළුපහන නොදැවී 150, පුලිඳු පෙරේරා 71, මල්ෂ තරුපති 65, Tarrique Edward 3/99) 
  • බටහිර ඉන්දීය කොදෙව් – පළමු ඉනිම පන්දුවාර 89.5ක දී සියලුම දෙනා දැවී 309 (Jordan Johnson 149, විහස් තෙව්මික 6/78, විශ්ව ලහිරු 3/61) 
  • ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම පන්දුවාර 25ක දී කඩුලු 8ක් දැවී 122 (රවිශාන් ද සිල්වා 50, Reon Edwards 1/18) 

තරගයේ වීරයා – දිනුර කළුපහන 

තරගය ජය පරාජයෙන් තොරයි. 

දෙවැනි තරගය 

කාසියේ වාසිය – බටහිර ඉන්දීය කොදෙව් 

  • බටහිර ඉන්දීය කොදෙව් – පළමු ඉනිම පන්දුවාර 36.4ක දී සියලුම දෙනා දැවී 127 (Jordan Johnson 52, විහස් තෙව්මික 5/43, මල්ෂ තරුපති 3/16)  
  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම පන්දුවාර 77.5ක දී සියලුම දෙනා දැවී 326 (මල්ෂ තරුපති 70, රුසඳ ගමගේ 58, Nathan Sealy 4/82) 
  • බටහිර ඉන්දීය කොදෙව් – දෙවැනි ඉනිම පන්දුවාර 68.5ක දී සියලුම දෙනා දැවී 277 (Jordan Johnson 157, විහස් තෙව්මික 3/63, මල්ෂ තරුපති 2/51, කවීෂ පියුමාල් 2/57) 
  • ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම පන්දුවාර 18.4ක දී කඩුලු 3ක් දැවී 81 (සිනෙත් ජයවර්ධන 30, රුසඳ ගමගේ නොදැවී 21)  

තරගයේ වීරයා – විහස් තෙව්මික  

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  

ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෝ 

දිනුර කළුපහන 

තරගාවලියේ දක්ෂතා දැක්වූ කැපී පෙනෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ගාල්ල මහින්ද විද්‍යාලය නියෝජනය කරමින් කණ්ඩායම හා එක් වූ දිනුර කළුපහන අංක 1ට ශ්‍රේණිගත වෙනවා.  

ඔහු තරගාවලියේ වැඩිම ලකුණු ලාභී ශ්‍රී ලංකා පිතිකරු වූ අතර තරග 2ක ඉනිම් 3ක දී ශතකයක් සමඟින් ලකුණු 205ක් ලබා ගන්නවා. එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 205.00ක් ලෙසින් තබා ගැනීමට ද ඔහු සමත් වෙනවා.  

ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ පළමු තරගයේ දී නොදැවී වාර්තා කරන ලද ලකුණු 150යි. එම ඉනිම වෙනුවෙන් ඔහු පන්දු 229කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් ඇතුළත් කළා.  

SSC කණ්ඩායම ද නියෝජනය කරන දිනුර මේ දක්වා පළමු පෙළ තරග 3කට සහභාගී වෙමින් මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතකයක් සමඟින් ලකුණු 60ක් ලබා සිටිනවා.  

ඔහු පසුගිය වසරේ පැවති වයස අවුරුදු 17න් පහළ සුපිරි පළාත් යොවුන් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මානයට පාත්‍ර වුනා. එම තරගාවලියේ දී ද ඔහු ඉනිම 4ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 202ක් ලබා ගන්නවා.  

මල්ෂ තරුපති 

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කරමින් යොවුන් කණ්ඩායම හා එක් වූ මල්ෂ තරුපති ඉනිම් 3ක දී ලකුණු 137ක් සහ කඩුලු 6ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතරින් පළමු ස්ථානයේ පසුවෙනවා. 

ඔහු පළමු යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 65ක් ලබා ගන්නා ලද අතර දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 70ක් ලබා ගන්නවා.  

රවිශාන් ද සිල්වා  

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය නියෝජනය කරමින් යොවුන් කණ්ඩායම හා එක් වූ රවිශාන් ද සිල්වා ඉනිම් 4ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 141ක් 

ඔහු පළමු තරගයේ දෙවැනි ඉනිමේ දී පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වෙනවා.  

එක්දින තරගාවලියේ දී ද අර්ධ ශතකයක් ලබා ගැනීමට ඔහු සමත් වුනා 

පුලිඳු පෙරේරා 

මහනුවර ධර්මරාජ විද්‍යාලය නියෝජනය කරමින් කණ්ඩායමට එක් වූ ආරම්භක වමත් පිතිකරු පුලිඳු පෙරේරා නිමා වූ තරග 2 ඉනිම් 4 දී ලකුණු 128ක් ලබා ගන්නවා. ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ පළමු තරගයේ දී පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 71යි.  

යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ද දක්ෂතා දැක් වූ ඔහු අවසන් එක්දින තරගයේ දී පන්දු 140කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 155ක් ලබා ගත්තා.  

විහස් තෙව්මික 

තරගාවලියේ වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නා වූයේ විහස් තෙව්මික. දකුණතින් පිට දඟපන්දු යවන විහස් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක් වෙන්නේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය නියෝජනය කරමින්.  

ඔහු නිමා වූ යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී කඩුලු 14ක් ලබා ගන්නවා. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 78කට ලබා ගත් කඩුලු 6යි.  

ඊට අමතර ව ඔහු දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ද කඩුලු 5ක් දවා ගන්නවා.  

සංචාරක කණ්ඩායමේ දක්ෂතා 

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ වමතින් පිත්ත හසුරුවන Jordan Johnson නිමා වූ යොවුන් ටෙස්ට් තරග ද්විත්වයේ දී ම ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙනුණා. 

ඔහු පළමු යොවුන් ටෙස්ට් තරගයේ දී පන්දු 207කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 149ක් ලබා ගත්තා. 

අනතුරුව දෙවැනි යොවුන් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ද සහ දෙවැනි ඉනිමේ දී පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 157ක් ද ලබා ගත්තා. 

ඒ අනුව ඔහු මෙම තරගාවලියේ දී ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 358ක් ලබා ගන්නවා. එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 179.00ක් 

දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී ද ඔහු ශතකයක් වාර්තා කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වුනා. ඔහුගේ එම ඉනිම පන්දු 79කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 12ක් සහ හයේ පහර 3කින් සමන්විත වූ ලකුණු 105ක් 

ඔහුගේ අවසන් තරග 10ට ම ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරන ලද මෙම ශතක ත්‍රිත්වය සහ අර්ධ ශතකය පමණයි. 

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යැවූ Nathan Sealy සහ දකුණතින් පිට දඟපන්දු යවන Tarrique Edward කඩුලු 7ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වුනා 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟම. 

>>තවත්ක්‍රිකට්පුවත්සඳහාපිවිසෙන්න<<