Kyle Mayersගෙන් ලෝක ක්‍රිකට් පොතට අමතක නොවන දිනයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2021

250

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වයස අවුරුදු 28ක් වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Kyle Mayers (නොදැවී 210) ලබා ගත් විශිෂ්ට ද්විත්ව ශතකය හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව Chattogram හිදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක වාර්තාගත ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ඊයේ (7 වැනිදා) සමත් වූහ.

Mayers ලබා ගත් මේ ද්විත්ව ශතකය නිසාවෙන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පස්වැනි ඉහළම හඹා යෑම සාර්ථක කර ගැනීමට කොදෙව් කණ්ඩායමට හැකි විය. මේ තරගයේ දී බංග්ලාදේශය විසින් සිය දෙවන ඉනිම අත්හිටුවා කොදෙව් කණ්ඩායමට ලකුණු 395ක ඉලක්කයක් ලබා දුන් අතර කොදෙව්වෝ කඩුලු 7ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්හ. ටෙස්ට් තරගයක ඉහළම හඹා යෑම ලෙස සැලකෙන ලකුණු 418 වාර්තාවට ද කොදෙව්වන් හිමිකම් කියන අතර එහි දෙවන සහ තුන්වැනි තැන සිටින්නේ පිළිවෙළින් දකුණු අප්‍රිකාව (414) සහ ඕස්ට්‍රේලියාව (404)යි.

තවත් ක්‍රිකට් පුවත්:

ටෙස්ට් තරගයක සිව්වැනි නොහොත් හතරවැනි ඉනිමේ දී ක්‍රීඩකයෙක් ද්විත්ව ශතකයක් ලබා ගත් පළමු අවස්ථාව මෙය වන අතර සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ක්‍රීඩකයෙක් ද්විත්ව ශතකයක් ලබාගත් 6 වැනි අවස්ථාව ලෙස ද Mayersගේ මේ ද්විත්ව ශතකය ලෝක ක්‍රිකට් වාර්තා අතරට එක් විය.

Mayersගේ මේ සුපිරි දස්කමට පෙර එංගලන්තයේ Tip Foster (287), බටහිර ඉන්දීය කොදෙව්හි Lawrence Rowe (214), ශ්‍රී ලංකාවේ බ්‍රෙන්ඩන් කුරුප්පු (නොදැවී 201), නවසීලන්තයේ Mathew Sinclair (214) සහ දකුණු අප්‍රිකාවේ Jacques Rudolph (නොදැවී 222) යන ක්‍රීඩකයෝ ද සිය මංගල ටෙස්ට් තරගවල දී ද්විත්ව ශතක ලබාගෙන තිබේ.

සිව්වැනි දිනය වූ ඊයේ (7) දිනය සඳහා තරගය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 110ක් ලබා සිටි කොදෙව්වෝ සිය ඉලක්කය සඳහා තවත් ලකුණු 285ක් පසුපසින් සිටියේ කඩුලු 7ක් ද අතැතිවයි. ඒ වන විට ලකුණු 37ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටි Mayers, නොදැවී ලකුණු 37ක් ලබාගෙන සිටියේය.

එහි දී Nkrumah Bonner (ලකුණු 86) සමඟ එක්වූ Mayers, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 216ක අගනා සම්බන්ධතාවක් ගොඩනගමින් මේ ඉතිහාසගත කොදෙව් ජයග්‍රහණය සඳහා අවශ්‍ය මූලික අඩිතාලම දැමීය. ඉන් අනතුරුව Joshua Da Silva (ලකුණු 20) සමඟ එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක සම්බන්ධතාවක් ද ගොඩනැගූ Mayers ආසනයේ දී සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.  

බංග්ලාදේශ පළමු ඉනිම – 430 (150.2): Mehidy Hasan Miraz 103, Shakib Al Hasan 68, Shadman Islam 59, Jomel Warrican 4/133, Rahkeem Cornwall 2/114.

කොදෙව් පළමු ඉනිම – 259 (96.1): Kraigg Brathwaite 76, Jermaine Blackwood 68, Mehidy Hasan Miraz 4/58.

බංග්ලාදේශ දෙවැනි ඉනිම – 223/8 dec – Mominul Haque 115, Liton Das 69, Jomel Warrican 3/57, Rahkeem Cornwall 3/81.

කොදෙව් දෙවැනි ඉනිම – 395/7 – Kyle Mayers 210*, Nkrumah Bonner 86, Mehidy Hasan Miraz 4/113, Taijul Islam 2/91.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<