සංචාරක ක්‍රීඩකයෝත් සාර්ථක ඉනිමක

West Indies Academy tour of Sri Lanka 2026

3
West Indies Academy tour of Sri Lanka 2026

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් නිල නොලත් සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ 2 වැනි දිනය (9) අවසන් වන විට තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 273ක් ලබා සිටියා.

ඒ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 356ට පිළිතුරු ලෙසයි.

>>කොදෙව්වන්ට එරෙහි ව අංජල බණ්ඩාරගෙන් සටන්කාමී ඉනිමක්

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අද ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 302ක් ලබා සිටිය දී යි. ඒ වෙද්දී අංජල බණ්ඩාර නොදැවී ලකුණු 126ක් සහ නිසල අබේරත්න නොදැවී ලකුණු 38ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනා අතුරින් අද පළමුවෙන් ම තම ඉනිම අහිමි කර ගන්නේ නිසල අබේරත්න. දුවද්දී දැවී යෑමට ගොදුරු වෙන ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා 9 වැනි කඩුල්ලට පන්දු 223ක දී ලකුණු 142ක සබඳතාවක් එක් කරනවා.

ඔහු ගේ දැවී යෑමෙන් අනතුරු ව අවසන් කඩුල්ලට පන්දු 22ක දී ලකුණු 21ක සබඳතාවක් එක් වෙද්දි අංජල බණ්ඩාර ඉනිමේ අවසන් කඩුල්ලට දැවී යනවා. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ ඔහු දැවී යන විට පන්දු 217කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමඟින් ලකුණු 163ක් ලබා සිටියා.

පිටියේ නොදැවී රැඳී සිටි චමෝද් බට්ටගේ පන්දු 7කට මුහුණ දෙමින් ලකුණක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Ryan Bandoo සහ Johann Layne කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව Jediah Blades කඩුලු ද්විත්වයක් ද සහ Amari Goodridge කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම් ඉනිම ආරම්භක අවස්ථාවේ සිව් දින තරගයකට වඩා එක්දින තරගයක් ලෙසින් පිතිකරණයේ යෙදුණා. ඔවුන් තම පළමු කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 42ක සබඳතාවක් ද සහ 2 වැනි කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 40ක් ද එක් කරනවා.

එහෙත් එතැන් සිට තරගයේ රිද්මය වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. එලෙසින් පැවැති ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය දැවි යද්දී බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම ලකුණු 101ක් ලබා සිටියා.

එම ඉනිමේ ඉදිරි පෙළ ශක්තිමත් කළ Mavendra Dindyal ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ඉනිමේ මෙතෙක් හොඳම කඩුලු සබඳතාව එක් කිරීමට Shaqkere Parris සහ නායක Rivaldo Clarke සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 183ක දී ලකුණු 115ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Shaqkere Parris ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියා.

තරගය 2 වැනි දිනයට නතර කරන විට Rivaldo Clarke පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 72ක් ද සහ Amari Goodridge පන්දු 37ක දී නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යැවූ ශක්ති උදාර ලකුණු 85කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ මෙතෙක් හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චමෝද් බට්ටගේ සහ නිසල අබේරත්න කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 356 (90.2)අසිත වන්නිනායක 41, ශාරුජන් ශන්මුගනාදන් 25, අංජල බණ්ඩාර නොදැවී 163, නිසල අබේරත්න 48, Jediah Blades 2/83, Johann Layne 3/68, Ryan Bandoo 3/45

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 273 (72.0) Damel Evelyn 35, Mavendra Dindyal 60, Shaqkere Parris 55, Rivaldo Clarke නොදැවී 72, ශක්ති උදාර 3/85

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම ලකුණු 83ක් පිටුපසින්.

තරගය හෙට (10) 3 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<