නවීන්ගේ කඩුලු 10 ඉණිමක ජයක් ලඟා කරයි

366
Malinda Pushpakumara

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය ඇතිව පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දෙවන සතියේ තවත් තරඟ කිහිපයක්ම පසුගිය දා (09) ආරම්භ විය. එම තරඟ වල තෙවන හා අවසන් දිනය අද (11) පැවැත්විණි. අද අවසන් වූ තරඟ වලින් ලංකන් ක්‍රිකට් සමාජය, කළුතර සංස්කෘතික කණ්ඩායම හා නාවික හමුදා යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නට සමත් විය.

පසුගිය ලිපි: පොලිස් පිතිකරණය නාවික පන්දුව හමුවේ බිඳවැ‍ටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය අතර තරඟය

පසුගිය දා ආරම්භ වූ තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය ලංකන් ක්‍රිකට් සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ලකුණු 29කට කඩුලු 2ක් දැවීගොස් තිබියදී ගුවන් හමුදා කණ්ඩායම විසින් අද තම ඉණිම ආරම්භ කල අතර ලංකන් ක්‍රිකට් සමාජ කණ්ඩායම උදෑසන සිටම තියුණු  තරඟයක් ලබාදෙමින් ගුවන් හමුදා කණ්ඩායම නොසිතූ ලෙස තම පිතිකරණය අසාර්ථක කරන ලදි. එහිදී ලංකන් ක්‍රිකට් සමාජ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 30ක් තුළ කඩුලු 5ක් දවාගැනීමට නවීන් කවිකාර සමත් වූ අතර එම අභියෝග හමුවේ නොසැලුණු හශාන් ජේම්ස් ගුවන් හමුදා දෙවන ඉණිම වෙනුවෙන් ලකුණු 27ක් ලබා ගැනීමට සමත් විය. නමුත් එම ඉණිම ගුවන් හමුදා කණ්ඩායමේ පරාජයට විසදුමක් නොවීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙවන ඉණිම – 80/10 (32.5): හශාන් ජේම්ස් 27, නවින් කවිකාර 5/30, රජීව වීරසිංහ 3/14

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – 230/10 (73): අචිර එරංග 59, රංග දිසානායක 41, ලහිරු ලක්මාල් 36, නවීන් කවිකාර  5/63, අනුරුද්ධ ප්‍රනාන්දු 3/47

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම – 315/10 (86.4): රජීව වීරසිංහ 77*, මදුරංග සොයිසා 68, ලාල් කුමාර 35, නිලන් ප්‍රියන්ත 4/64, ලහිරැ ශ්‍රී ලක්මාල් 2/40

ලංකන් ක්‍රිකට් කණ්ඩායමට ඉණිමක හා ලකුණු 5ක තියුණු ජයග්‍රහණයක්


කළුතර භෞතික සංස්කෘතික සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරඟය

මග්ගොන සරේ පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

කඩුලු 4ක් දැවී ලකුණු 88ක් ලබා සිටියදී කළුතර කණ්ඩායම අද දිනය ඇරඹූ අතර, ඔවුන් උපක්‍රමශීලීව තම ජයග්‍රහණය වෙත පහසුවෙන් ලඟාවිය. එහිදී රසික ප්‍රනාන්දු මනරම් පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 47*ක් ලබා ගන්නා ලදි. එම ඉණිම ඔවුන්ගේ ජයග්‍රහණයට විශාල පිටුවහලක් විය. මිතුන් ජයවික්‍රම කඩුලු 3ක් කුරුණෑගල තරුණ කණ්ඩායම වෙනුවෙන් දවාගනිමින් දස්කම් දක්වන ලදි.

කළුතර භෞතික සංස්කෘතික කණ්ඩායම දෙවන ඉණිම  159/05 – (41.4): රසික ප්‍රනාන්දු 47*,  චතුර දමිත් 33, පැතුම් නිස්සංක 27*,  මිතුම් ජයවික්‍රම 3/23

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – 197/10 (55.4): හශාන් ප්‍රභාත් 82, කව්ශික ඒකනායක 46, දර්ශන මහවත්ත 30, රමේශ් සෙල්වරාජ් 6/63

කළුතර භෞතික සංස්කෘතික කණ්ඩායම පළමු ඉණිම – 192/10 (54): පැතුම් නිස්සංක 64, චතුර දමිත් 27,  ෆහාඩ් බාබර් 24, කව්ශික ඒකනායක 5/40, සාරංග රාජගුරු 2/20

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවන ඉණිම – 151/10 (40.4): හශාන් ප්‍රභාත් 39, ධනුෂ්ක ධර්මසිරි 39, රසික ප්‍රනාන්දු 3/46, රමේශ් සෙල්වරාජ් 3/71

කළුතර සංස්කෘතික කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක්


ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරඟය

වැලිසර නාවික හමුදා පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමට ඇරයුම් කරන ලදි.

කඩුලු 5ක් දැවී ලකුණු 93ක් ලබාගෙන ඉතා අපහසුතාවට පත්වූ අවස්ථාවක පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අද දිනය ආරම්භ කල අතර අද දිනය තුලද ඔවුන්ගේ කඩුලු බිදවැටීමේ සීඝ්‍රතාවය අඩුකර ගැනීමට ඔවුන්ට කිසිසේත්ම නොහැකි විය. සමිත් දුශ්ශන්ත ලකුණු 37ක් ලබා සිටින විට දැවීගිය අතර, සුවන්ජි මඳනායක ලකුණු 34ක් ලබා ගන්නා ලදි. අශාන් රණසිංහ ලකුණු 34ක් තුල කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම දෙවන ඉණිම (f/o)  – (24): 161/10 (43.1):  සමිත් දුශ්ශන්ත 37, සුවන්ජි මදනායක 34,  අශාන් රණසිංහ 3/34, ඉශාන් අබේසේකර 3/67

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 376/10 (117.2): කුසල් එදිරිසූරිය 145, බුද්ධික හසරංග 55, ඉශාන් අබේසේකර 46, සමීර සඳමාල් 32, සුවන්ජි මදනායක 5/108

පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම පළමු ඉණිම – 96/10 (36.1): අසේල අලුත්ගේ 23, මහේෂ් ප්‍රියදර්ශන 22, අශාන් රණසිංහ 3/20

නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමට ඉණිමක හා ලකුණු 119ක සුපිරි ජයග්‍රහණයක්

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට