මම අවුරුදු හතරක්ම බලාගෙන හිටියේ උඹ එනකල්!

6917

ක්‍රිකට් ක්‍රීඩාවේ දී සිදු කෙරෙන වචන හරඹ ගැන අපි සෑහෙන කතා කරනවනේ. බොහොමයක් දෙනා මේ වචන හරඹවලට කැමති නැහැ.

ක්‍රීඩාවට ආලෝකයක් ගේන්න, තරගකාරී බවක් ඇති කරන්න පුළුවන් දෙයක් තමයි මේ ක්‍රීඩකයෝ අතරේ ඇති වන වචන හරඹ.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් නම් ක්‍රිකට් හැකියාව වගේම මානසික මට්ටමත් ඉහළ මට්ටමක තියෙන්න ඕන. එහෙම නැත්නම් ජාත්‍යන්තර මට්ටමේ දී සාර්ථක වෙන්න බැහැ.

ක්‍රීඩකයෙක් කොයිතරම් මානසිකව ශක්තිමත් ද කියලා බලන එක මිනුම් දණ්ඩක් තමයි ප්‍රතිවාදීන් එල්ල කරන දැඩි වාචික පීඩනය හමුවේ ප්‍රතිචාර දක්වන ආකාරය.

ක්‍රිකට් ඉතිහාසය පිරික්සා බලනකොට දිගින් දිගටම පැටලිලා ගිය, දිගින් දිගටම වලි දාගත්ත අපූරු ක්‍රීඩකයෝ දෙන්නෙක් අපට මුණ ගැහෙනවා. හැබැයි එක් පාර්ශවයක් මේ සටනට හොඳින් මුහුණ නොදුන් බවයි පෙනෙන්නට තියෙන්නේ.

එක්කෙනෙක් ඕස්ට්‍රේලියානුවෙක්. අනෙකා දකුණු අප්‍රිකානුවෙක්. මේ ලියවෙන්නේ ඔවුන්ගේ කතාව.

ඩැරල් කලිනන් කියන්නේ දකුණු අප්‍රිකාව බිහි කළ අති දක්ෂ පිතිකරුවෙක්. කලිනන් කියන්නේ වයස 16 දී පළමුපෙළ ශතකයක් රැස් කරලා එවන් දස්කමක් කළ ළාබාලතම දකුණු අප්‍රිකානුවා විදියට වාර්තා පොත් අතරට ගිය මිනිහෙක්.

කලිනන් 1993/94 ඔස්ට්‍රේලියානු තරග සංචාරයට එකතු වෙන්නේ ඔහුටම වෙන් වෙච්ච විශාල ප්‍රතිරූපයක් එක්ක.

ඕස්ට්‍රේලියානු සංචාරයට මාස ගානකට කලින් තිබුණ පළමුපෙළ තරගයක දී කලිනන් ට්‍රාන්ස්වාල් ප්‍රාන්තය නියෝජනය කරමින් උතුරු ට්‍රාන්ස්වාල් කණ්ඩායමට එරෙහිව ලකුණු 337ක් නොදැවී රැස් කළා. මේ ඉනිම ඒ වෙද්දී දකුණු අප්‍රිකානු පළමුපෙළ තරගවල වාර්තා වූ ඉහළතම තනි ඉනිම වුනා.

ආපහු තරගාවලිය පැත්තට එමු.

ඕස්ට්‍රේලියා- දකුණු අප්‍රිකා තරගාවලියේ මුල්ම ටෙස්ට් තරගය ඇරඹුණේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්ත ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කළා.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිටිය මැද සිටින විට යම් දෙයක් නිරීක්ෂණය කරලා තිබුණා. ඒ ස්ලිප් කලාපයේ පන්දු රකිමින් සිටි කලිනන්ගෙන් නොනවත්වා එල්ල වන වාග් ප්‍රහාරයන්. කලිනන්ගේ කච කචේ තමන්ට මහත් හිසරද‍යක් වූ බව ඔවුන් තේරුම් ගත්තා.

ක්‍රීඩක විවේකාගරයේ දීත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් හැමදෙනාම වගේ කතා කළේ මේ ගැන.

මොකාද මේ ඩැරල් කලිනන්?

ඕස්ට්‍රේලියානුවන් කල්පනා කරන්න ගත්තා.

මොකෙක් වුනත් ඌ හොඳ වැඩ කාරයෙක් වෙන්න එපැයි. නැත්නම් දකුණු අප්‍රිකාවේ ෆස්ට් ක්ලාස් රෙකෝඩ් එක කඩන්න පුළුවන් යැයි.

පන්දුවට පහර දීමට එන කලිනන් වෙනුවන් හොඳ සංග්‍රහයක් දෙන්න කට මැදගෙන බලාගෙන හිටිය ඕස්ට්‍රේලියානුවන්ට එදා වැඩේ හරිහැටියට කරගන්න බැරි වුනා. මොකද කලිනන් තමන් මුහුණ දීපු මුල්ම බෝලෙන්ම ක්‍රේග් මැක්ඩර්මට් ඉස්සරහ කඩුලු රකින ක්‍රීඩක ඉයන් හීලී අතට උඩපන්දුවක් දීලා අවුට් වෙලා ගිය නිසා.

මෙල්බර්න් නුවරට ඇද හැළුණ අධික වර්ෂාව නිසා දෙවන ඉනිමේ පන්දුවට පහර දෙන්න කලිනන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ.

දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වුනේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කලිනන් සමඟ වලිය මේ වෙද්දී ඕස්ට්‍රේලියානුවන් පෞද්ගලික මට්ටමෙන් අරන් තිබුණේ. ඒ වගේම කලිනන්ට හොඳට සංග්‍රහ කරන්න බැරි වෙච්ච එකට ඔවුන් දැඩි කනස්සල්ලෙන් හිටියේ.

අපි කලිනන් ගැන දන්නේ මොනවද? එක ක්‍රීඩකයෙක් ඇහුවා.

අපි දන්නේ පොර අපේ හැමෝටම කුණු කතා කිව්වා. කැචස් හතරක් බෑවා. මුල්ම බෝලෙන් අවුට් වෙලා ගියා. එච්චරයි,”  වෙනත් එකෙක් එහෙම කිව්වා.

සිඩ්නි තරගයේ පන්දුවට පහර දීමට කලිනන් එනවා දැකපු ගමන් ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් ෂේන් වෝන්ට පන්දුව බාර කළා.

බලමු මේ වැඩ කාරයා කියන හාදයා ස්පින් එකට ගහන විදිය. පන්දුව වෝන් අතට බාර දෙන ගමන් බෝඩර් කිව්වා.

වැඩි වෙලාවක් යන්න කලින් වෝන් ෆ්ලිපර් පන්දුවක් භාවිතයෙන් කලිනන්ගේ කඩුල්ල දවා ගත්තා.

දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන්න ආපු කලිනන් නැවත වතාවක් ෂේන් වෝන්ගේ පන්දුවක් ඉස්සරහ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා.

තරගාවලිය පුරාවටම අසාර්ථක වෙච්ච කලිනන්ට ඊළඟ තරගාවලියේ දී කණ්ඩායමෙන් දොට්ට යන්න වුනා.

මේ සිදුවීම් මාලාව මෙතැනින් ඉවරයි.

අවුරුදු තුන හතරකට පස්සේ ආයේ පාරක් ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් දකුණු අප්‍රිකානුවන් සහ ඕස්ට්‍රේලියානවන් හමුවෙනවා.

මේ කියන දවස්වල එක්තරා දවසක පුවත්පතක් අතට ගත්ත වෝන් ඒකේ ලියවිලා තිබුණ ආටිකල් එකක් දැකලා පුදුමයට පත් වෙනවා.

ඒ තමයි ඩැරල් කලිනන් මනෝ චිකිත්සකවරයෙක් මුණගැහෙන්න ගියා කියන ප්‍රවෘත්තිය. පුරා පිටු දෙකක් පුරාවට ලියවිලා තිබුණ මේ ආටිකල් එක දැකල ෂේන් වෝන්ට හිනාව නවත්තගන්න බැරි වෙනවා.

මම ක්‍රීඩා කළේ පන්දු යවන්නා දිහා බලලා. පන්දුව ගැන අවධානයක් තිබුණේ නෑ කියලා කලිනන් පත්තරේට කියලා තිබුණා.

මේක කියවපු වෝන් තනියම හිනා වෙන ගමන් කල්පනා කරනවා මේ මොන වඳුරු කුණුහරුපයක් ද කියලා.

ෂේන් වෝන් කියන්නේ හොඳ ක්‍රිකට් ඔළුවක්. ප්‍රතිවාදියාගේ ඔළුවට ඇතුල් වෙලා සම්පූර්ණයෙන්ම ඔහුව අවුල් කරන්නේ කොහොමද කියලා වෝන් දන්නවා. කලිනන් මනෝ චිකිත්සකවරෙක් හමුවෙන්න ගියපු බව දැන් වෝන්ගේ ඔළුවේ වැඩ.

මෙල්බර්න් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ පළවෙනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු අලී බැකර් දවා ගන්න ෂේන් වෝන් සමත් වෙනවා. ඒ මාක් ටේලර් අතට උඩපන්දුවක් දීලා.

බැකර් දැවී ගියාට පස්සේ කඩුල්ලට ඒමට නියමිත වෙලා හිටියේ ඩැරල් කලිනන්.

කලිනන් කඩුල්ලට ඇවිත් ගාඩ් එක ගන්න වෙලාවේ ෂේන් වෝන් හෙමීට කලිනන්ට කිට්ටු වෙනවා. කිට්ටු වෙලා මෙහෙම කියනවා.

“කවුච් එකේ පාට මොකක්ද?”

කලිනන් මූණ කළු වෙලා ගිහින් ගැස්සිලා වගේ තමන් දිහා බලපු බව වෝන් කියනවා.

පැය ගානට අය කරමු. මොකද කියන්නේ?”

“මම උඹව ආයේ අර ලෙදර් කවුච් එකට යවලා තමයි පස්ස බලන්නේ,” වෝන් නවත්තන පාටක් ඇත්තෙම නැහැ.

අවුට් වෙන්න නම් හිතන්නවත් එපා ඩැරල්. මම අවුරුදු හතරක් බලන් හිටියා උඹ ආපහු එනකල්,” වෝන් දිගටම වචන හරඹයේ.

ඉවසගන්න බැරිම තැන අන්තිමේ දී කලිනන් ආපහු කට ඇරියා.

මට පේන්නේ උඹ ඒ අවුරුදු හතරේම හරකෙක් වගේ ගිලලා නම් තියනවා”

කොයිතරම් දක්ෂ පිතිකරුවෙක් වුනත් කලිනන්ට ෂේන් වෝන්ගේ කියවිල්ලෙන් ගැලවෙන්න ලැබුණේ නැහැ.

ෂේන් වෝන් සහ ඩැරල් කලිනන් වලිය කාටුන් ශිල්පියෙකුගේ ඇසින්.

ෂේන් වෝන් නිසා අසරණ කලිනන්ට අනිත් කණ්ඩායම් වලිනුත් ගැලවෙන්න ලැබුණේ නැහැ.

වතාවක් නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරගයක දී කලිනන් පන්දුවට පහර දෙමින් හිටියේ. නවසීලන්ත කණ්ඩායමේ ඩැනියෙල් විටෝරි එවූ පන්දුවක් කලිනන්ගේ පිත්ත පරාජය කරමින් ගිහින් කඩුලු රකින ඇඩම් පැරෝරේ අතට පත්වුණා.

වෙල් බෝල්ඩ් වෝනි”

ඉයන් හීලීගේ ස්වරයට සමාන හඬකින් පැරෝරේ කෑගැහුවා. නවසීලන්ත ක්‍රීඩකයින් පමණක් නෙවෙයි ඩැරල් කලිනන් පවා එයින් සිනහා වෙමින් විනෝදයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණා.

ඩැරල් කලිනන්ගේ සදාකාලික පසමිතුරා වූ ෂේන් වෝන් අවාසනාවන්ත ලෙස 2022 අවුරුද්දේ මාර්තු මාසේ 4 වැනිදා මිය ගියා. දෛවයේ සරදමකට වගේ ඩැරල් කලිනන්ගේ 55 වැනි උපන්දිනය යෙදිලා තිබුණේ හරියටම මේ කියන දවසේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<