ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම තුන්කොන් සටනින් ඉවතට

407
Amila Aponsu

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට අහිමි විය. ඒ තරග 5කදී 4 වන පරාජයත් උරුම කර ගැනීම හේතුවෙනි.

පසුගිය ලිපි: හෂාන්ගේ ශතකය අපතේ යයි

ශ්‍රී ලංකාව මේ තරගාවලියේ සහභාගී වූ 5 වන තරගය ප්‍රිටෝරියා හීදී පැවැත්වුනේ දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායමත් සමගිනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් විශ්ව විද්‍යාල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. ඔවුන් නියමිත් පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 248කි.

අමිල අපෝන්සු, ප්‍රියමාල් පෙරේරා සහ අනුක් ප්‍රනාන්දු තම පන්දුවාර 30 තුල ලබා දුන්නේ ලකුණු 109ක් පමණි. නමුත් අනෙක් පන්දුවාර 20 තුළ ලකුණු 139ක් ලබාගත් දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩකයන් සටන්කාමී ඉලක්කයක් වෙත ලඟා විය. සුබයර් හම්සා ලකුණු 67ක් ලබාගත් අතර අනෙක් සියලුම පිතිකරුවන් අඩු වැඩි වශයෙන් වටිනා දායකත්වයක් කණ්ඩායමට සැපයීමට සමත් විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙදෙනෙක් 1 කඩුල්ල බැගින් බිඳ හෙලීය.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ජයග්‍රහණයක් කරා යන බවක් මුල සිටම දක්නට නොලැබුණි. එකදු අර්ධ ශතක සබඳතාවක් හෝ ගොඩ නැගීමට ශ්‍රී ලංකා සංවර්ධන පිතිකරුවන් අසමත් වෙද්දී කීත් ඩූජෝන් ඉනිම වැනසීමේ පුරෝගාමියා විය. නායක රුමේෂ් බුද්ධික හුදකලා අර්ධ ශතකයක් ගොඩනැගුවත්, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට පන්දු වාර 42.1ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 184ක් පමණි.

කීත් ඩූජෝන් කඩුලු 3ක් සහ ඩෙලානෝ පොට්ගීටර් කඩුලු 2ක් බිඳහෙලන ලදී. අද ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ තම අවසන් තරගයට එක්වන්නේ දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම සමගයි. කෙසේ වෙතත් එම තරග ප්‍රතිඵලය කුමක් වුවත් අවසන් මහා තරගයට පිවිසීමේ අවස්තාව ශ්‍රී ලංකාවට මේ වනවිටත් අහිමිවී අවසන්ය.

  ලකුණු පුවරුව  

දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – 248/7 (50) – සුබයර් හම්සා – 67, තෝමස් කාබර් – 38, සෝලෝ එන්ක්වෙනී – 31, අමිල අපෝන්සු – 1/38, ප්‍රියමාල් පෙරේරා – 1/36, අනුක් ප්‍රනාන්දු – 1/35

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම – සියල්ලන් දැවී – 184 (42.1) – රුමේෂ් බුද්ධික – 53, සඳුන් වීරක්කොඩි – 37, කීත් ඩූජෝන් – 3/27, ඩෙලානෝ පොට්ගීටර් – 2/22

දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායමට ලකුණු 64ක ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට