Home Sinhala මැතිව්ස්ගේ තුන් ඉරියව් දස්කම් සමඟින් ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

මැතිව්ස්ගේ තුන් ඉරියව් දස්කම් සමඟින් ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

Afghanistan Tour of Sri Lanka 2024

110
Afghanistan Tour of Sri Lanka 2024

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණු දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 72ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) සමත් වුනා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ ද කාසියේ වාසිය  ඇෆ්ගන් නායකයා සතු වූ අතර ඔහු විසින් පෙර තරගයේ මෙන්ම ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කලා.

ශ්‍රී ලංකාව:

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස (wk), ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම  චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස් , දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු , මතීෂ පතිරණ

ඇෆ්ගනිස්තාන:

Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran (capt), Hazratullah Zazai, Gulbadin Naib, Azmatullah Omarzai, Najibullah Zadran, Mohammad Nabi, Karim Janat, Noor Ahmad, Fazalhaq Farooqi, Naveen ul Haq

ඇෆ්ගන් නායකයාගේ අවසරයෙන් පිටියට පිවිසුණු සුපුරුදු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වන කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක විසින් ඉනිමට ඉතා වේගවත් ආරම්භයක් ලබා දුන් අතර ඔවුන් දෙදෙනා විසින් පන්දු 23කින් ලකුණු 45ක් ලකුණු පුවරුවට එක් කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ වේගවත් ආරම්භය මදකට නතර කළ ඇෆ්ගනිස්තානය විසින් කුසල් සහ පැතුම් දෙදෙනාවම නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වුනා.

ඉන් පසුව කඩුල්ලේ එක් වූ ධනංජය ද සිල්වා සහ සදීර සමරවික්‍රම අතර තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක සබඳතාවක් ගොඩ නැගුණු නමුත්, ඔවුන් ඒ සඳහා තරමක් වෙලාව ගත කළා. මේ නිසාම ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනීම ද තරමක් බාල වුනා.

මේ අතරේ ධනංජය ද සිල්වා ලකුණු 14ක් ලබා සිටිය දී දවා ගැනීමට Mohammad Nabi විසින් සමත් වූ අතර, පෙර තරගයේ මෙන්ම ඇෆ්ගන් පන්දු යවන්නන්ට හිසරදයක් වීම සඳහා නායක වනිඳු හසරංග මේ මොහොතේ පිටියට පිවිසුණා.

වනිඳු විසින් වේගය අඩාල වූ ශ්‍රී ලංකා ඉනිමට නැවත ජීවය පොවමින් පන්දු 9කින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුනේ දැවැන්ත හයේ පහර ද්විත්වයක් ද සමඟයි.

කෙසේ වෙතත් වනිඳුගේ ඉනිමේ නිමාවෙන් පසු පිටියට පිවිසි උප නායක චරිත් අසලංකට මෙවරත් සාර්ථක වීමට ඉඩ ලැබුණේ නැහැ. එමෙන්ම මෙතෙක් වේලා කඩුල්ලේ නොදැවී රැඳී සිටි සදීර ද තරමක් සෙමෙනුයි සිය ඉනිම දියත් කරමින් සිටියේ.

චරිත් ලකුණු 4ක් ලබමින් පිටියෙන් ඉවත් වූ අතර, පසුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ද ඉතා මන්දගාමී ආරම්භයක් ලබා ගන්නා බවක් දකින්නට ලැබුණා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ 17 වැනි පන්දුවාරය නිමා වන විට ඔවුන් කඩුලු 5ක් දැවී ගොස් ලබා සිටියේ ලකුණු 138ක් පමණයි. එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් පන්දු 12කට මුහුණ දෙමින් ලබා සිටියේ ලකුණු 9ක් පමණයි.

කෙසේ වෙතත් ඉතිරි පන්දුවාර තුන තුළ සිය ගියරය මාරු කළ සදීර සහ මැතිව්ස් යුගලය විසින් ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 187ක් කරා ඇදී ගියා.

මෙහි දී සදීර සමරවික්‍රම පන්දු 42කින් ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඇන්ජලෝ මැතිව්ස් පන්දු 22ක් තුළ නොදැවී ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වුනා. මේ වෙනුවෙන් Azmatullah Omarzai විසින් යැවූ තරගයේ 19 වැනි පන්දුවාරයේ පළමු පන්දු ත්‍රිත්වයට මැතිව්ස් පිට පිටම එල්ල කළ හයේ පහර තුන ද ඇතුළුව හයේ පහර 4ක් අන්තර්ගත වුනා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Azmatullah Omarzai සහ Mohommad Nabi කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ඇෆ්ගන් පිතිකරුවන්ට මෙවර නම් එතරම් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ මැතිව්ස් විසින් Hazratullah Zazaගේ කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට සමත් වූ අතර, එහි අවසන් ප්‍රතිඵලය වුනේ ඇෆ්ගනිස්තාන ඉනිමේ 5 වැනි පන්දුවාරය නිමා වීමටත් ප්‍රථම ලකුණු 31ක් තුළ ඔවුන්ගේ තවත් කඩුලු 4ක් බිඳ වැටීමයි.

කෙසේ වෙතත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ Mohommad Nabi සහ Karim Janat යුගලය විසින් ඇෆ්ගන් ඉනිමට යම් ස්ථාවරයක් ලබා දීමට උත්සාහ කළා.

කෙසේ වෙතත් පෙර තරගයේ මෙන්ම මෙවරත් අවශ්‍ය ම මොහොතේ පන්දුවට අතට ගත් දසුන් ශානක Nabiගේ ඉනිම නිමා කිරීමට සමත් වූ අතර, ඉන් පසුව නායක වනිඳු විසින් Najibullah Zadranගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනේ සිය 100 වැනි විස්සයි විස්ස කඩුල්ල ලෙසයි.

මේ අනුව වනිඳු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස කඩුලු සියයක් දවා ලූ දෙවන පන්දු යවන්නා බවට ද පත් වීමට සමත් වුනා, එමෙන්ම මෙම කඩ ඉම පසු කළ ලොව දෙවැනි වේගවත් ම පන්දු යවන්නා (Rashid Khanට පමණක් දෙවැනි වෙමින්) බවට පත් වීමට ද වනිඳු හට හැකියාව ලැබුණා. එමෙන්ම ඇෆ්ගන් ඉනිමේ සාර්ථක ම පිතිකරු වූ Karim Janat වනිඳුගේ 101ක් වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, ඉන් පසුව පිටියට පිවිසි ඇෆ්ගන් පසු          පෙළ පිතිකරුවන්ට මතීෂ පතිරණගේ අධිවේගී පන්දු හමුවේ කිසිඳු ගැලවීමක් ලැබුණේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් ලකුණු 72ක පහසු ජයග්‍රහණයක් හිමි වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ, බිනුර ප්‍රනාන්දු, වනිඳු සහ මතීෂ කඩුලු 2 බැඟින් දවා ගනිමින් පන්දු යැවීමෙන් සාර්ථක වුනා.

ඇන්ජලෝ මැතිව්ස්ගේ තුන් ඉරියව් දක්ෂතා නිසාම තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි වුනා.

එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා.

Result


Sri Lanka
187/6 (20)

Afghanistan
115/10 (17)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Azmatullah Omarzai 25 11 5 0 227.27
Kusal Mendis c Noor Ahmad b Fazal Haq Farooqi 23 14 4 0 164.29
Dhananjaya de Silva c Ibrahim Zadran b Mohammad Nabi 14 14 1 0 100.00
Sadeera Samarawickrama hit-wicket b Naveen ul Haq 51 42 5 0 121.43
Wanidu Hasaranga c Ibrahim Zadran b Mohammad Nabi 22 9 1 2 244.44
Charith Asalanka c Naveen ul Haq b Azmatullah Omarzai 4 8 0 0 50.00
Angelo Mathews not out 42 22 2 4 190.91


Extras 6 (b 0 , lb 5 , nb 0, w 1, pen 0)
Total 187/6 (20 Overs, RR: 9.35)
Bowling O M R W Econ
Fazal Haq Farooqi 4 0 31 1 7.75
Azmatullah Omarzai 4 0 40 2 10.00
Naveen ul Haq 4 0 46 1 11.50
Karim Janat 2 0 20 0 10.00
Mohammad Nabi 4 0 25 2 6.25
Noor Ahmad 2 0 20 0 10.00


Batsmen R B 4s 6s SR
Hazratullah Zazai c Kusal Mendis b Angelo Mathews 1 2 0 0 50.00
Ibrahim Zadran c Maheesh Theekshana b Angelo Mathews 10 7 2 0 142.86
Rahmanullah Gurbaz lbw b Maheesh Theekshana 13 8 2 0 162.50
Gulbadin Naib c Wanidu Hasaranga b Binura Fernando 4 8 0 0 50.00
Azmatullah Omarzai b Binura Fernando 0 1 0 0 0.00
Mohammad Nabi c Kusal Mendis b Dasun Shanaka 27 17 1 2 158.82
Karim Janat c Dasun Shanaka b Wanidu Hasaranga 28 23 2 1 121.74
Najibullah Zadran b Wanidu Hasaranga 9 15 1 0 60.00
Noor Ahmad not out 5 9 0 0 55.56
Naveen ul Haq b Matheesha Pathirana 5 9 1 0 55.56
Fazal Haq Farooqi c Dasun Shanaka b Matheesha Pathirana 2 3 0 0 66.67


Extras 11 (b 0 , lb 0 , nb 0, w 11, pen 0)
Total 115/10 (17 Overs, RR: 6.76)
Bowling O M R W Econ
Angelo Mathews 2 0 9 2 4.50
Binura Fernando 2 0 18 2 9.00
Maheesh Theekshana 4 0 30 1 7.50
Wanidu Hasaranga 4 0 19 2 4.75
Matheesha Pathirana 3 0 22 2 7.33
Dasun Shanaka 2 0 17 1 8.50



තරගාවලියේ තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය බදාදා (21) පැවැත්වීමට නියමිතයි. එම තරගය පිළිබඳ ව ද සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<