මෙන්ඩිස්, ගුණතිලක සහ දික්වැල්ලට දඬුවම්!

506

එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරමින් තාවකාලික තරග තහනමකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනා හට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

එයට අමතරව මාස 6ක දේශීය ක්‍රිකට් තරග තහනමක් සහ එක් අයෙක්ට රුපියල් මිලියන 10 බැගින් වන දඩයක් ද පනවා තිබෙනවා.

එම ක්‍රීඩකයින් තිදෙනා ඊයේ (29) මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටුව හමුවීම සඳහා කැඳවා තිබුණා. අවසානයේ දී එම කමිටුවේ නිර්දේශවලට අනුව ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් හා නිරෝෂන් දික්වැල්ලට මාස 18ක ක්‍රිකට් තහනමක් නිර්දේශ කර තිබුණා. 

ඊට අමතරව එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් ගෙවීමට නියම කරමින් ඔවුන් සිය අවසන් වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට ලබා දී තිබුණා.

ඒ පිළිබඳව සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ විධායක කමිටු රැස්වීමක අද (30) පැවැත්වූවා. එහි දී පංච පුද්ගල කමිටුව ලබා දුන් ඔවුන්ගේ තරග තහනම පමණක් තරමක් මට්ටමකට ලිහිල් කරමින්, ඔවුන් තිදෙනා හට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක්, මාස 6ක දේශීය ක්‍රිකට් තරග තහනමක් සහ එක් අයෙක්ට රුපියල් මිලියන 10 බැගින් වන දඩයක් නියම කිරීමට විධායක කමිටුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඊට අමතරව ඔවුන්ගේ ජාත්‍යන්තර තරහ තහනම අවසන් වූ පසුව වසර දෙකකට අත්හිටවූ වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කරනු ලබන වෛද්‍යවරයෙකු යටතේ අනිවාර්ය උපදේශනයක් (Counselling) වෙත යොමු කර තිබෙනවා.

මෙහි තිබෙන අත්හිටවූ ක්‍රිකට් තහනමක් යන්නෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීමට අදහස් කර තිබෙන්නේ, වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම අවසන් වූ පසුව ඉදිරි වසර දෙකක කාලය සඳහා ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් සඳහා සලකා බලන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කරමින් යම් ආකාරයක වරදක් සිදු කළහොත්  ඔවුන් හට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු සිදු කරන බවයි.

එම විමර්ශන කටයුතු සිදු කළ පංච පුද්ගල කමිටුව පහත දැක්වෙනවා.

  • නිමල් දිසානායක (විශ්‍රාමික හිටපු ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ විශ්‍රාමික විනිසුරු)
  • පණ්ඩුක කීර්තිනන්ද (නීතිඥ)
  • අසේල රැකව (නීතිඥ)
  • උචිත වික්‍රමසිංහ (නීතිඥ)
  • විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<