වනිඳු හසරංගටත් කොරෝනා!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2022

454
Wanindu Hasaranaga Tests Positive
@Getty Images

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට ද කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.

තෙවැනි විස්සයි විස්ස තරගයට පෙර අද (15) සිදු කරන ලද ප්‍රතිදේහජනක (rapid antigen) පරීක්ෂණයක දී  වනිඳුට වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව අද තරගය සඳහා වනිඳු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් තිබෙනවා.

තරගාවලිය අතරතුර දී වයිරසය ආසාදනය වුනු තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වනිඳු වන අතර මීට පෙර කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු හට ද වයිරසය ආසාදනය වුනා. කෙසේ නමුත් මෙන්ඩිස් මේ වන විට සම්පූර්ණ සුවය ලබා සිටින නිසා අද තරගය සඳහා ඔහුව සලකා බැලීමට නියමිතයි.

බිනුර සහ වනිඳු දෙදෙනාම සෞඛ්‍යාරක්ෂිත වැඩසටහන යටතේ නිරෝධානයනයට ලක් කොට තිබෙන අතර වනිඳු සහ බිනුර යන දෙදෙනාටම තරගාවලියේ ඉතිරි තරග සියල්ලම මඟ හැරී යාමට වැඩි ඉඩක් තිබෙනවා.

පසුගිය 11 වැනිදා ආරම්භ වූ විස්සයි විස්ස තරග 5කින් සමන්විත ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ දැනට 2-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. දෙරට අතර පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස තරගය අද (15) ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.40ට Canberra හිදී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<