IPL දෙවන අදියරට එංගලන්ත ක්‍රීඩකයන් නැහැ

158

අවලංගු වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නැවත පවත්වන්නේ නම් ඒ සඳහා එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් සහභාගී නොවන බව එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක Ashley Giles පවසා සිටියා.

කොරෝනා අවදානම හේතුවෙන් පසුගිය දා අවලංගු වුනු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නැවත පැවැත්වීම කෙරෙහි සංවිධායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා. මෙම තරගාවලිය ලෝක කුසලාන තරගාවලියට පෙර හෝ පසු කාලය තුල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටිනවා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් පසුගිය සඳුදා Ashley Giles එංගලන්ත ක්‍රීඩකයන් එම අදියර සඳහා සහභාගී නොවන බව පවසා සිටියා. 

ඉන්දියාව තුල නැවතත් දරුණු ලෙස පැතිර යන කොරෝනා වයිරසය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවලංගු කිරීමට සංවිධායකයන් හට සිදු වුනා. ඒ තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයන් සහ සෙසු නිලධාරීන් කීපදෙනෙකුටම වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟින්. 

ඉන්දියාව තුල පසුගිය සඳුදා දිනයේ දී පමණක් ආසාදිතයින් 366,161ක් වාර්තා වූ අතර එරටින් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 22ක් ඉක්මවා තිබෙනවා. 

අවලංගු වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම සඳහා ඔක්තෝබර් මාසයේ ලෝක කුසලාන තරගාවලියට පෙර කාලසීමාව යොදාගැනීමට වැඩි ඉඩක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. නමුත් එම කාලය තුල එංගලන්තය බංග්ලාදේශය සහ පාකිස්තානය සමඟින් තරගාවලි දෙකකට සහභාගී වීමට නියමිතව තිබෙනවා. 

“අපි බංග්ලාදේශ සහ පාකිස්තාන තරගාවලිය ක්‍රීඩා කරනවා නම් මම බලාපොරොත්තු වෙනවා අපේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් ඒකට සහභාගී වේවි කියලා. එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කරන තරග සඳහා ප්‍රධාන කොන්ත්‍රාත් ක්‍රීඩකයන් යොදාගන්න අපි බලාපොරොත්තු වෙනවා” එංගලන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් Ashley Giles පවසා සිටියා.

නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පෙර පරිදීම පැවැත්වූයේ නම් එම කාලය තුල පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත නවසීලන්ත ටෙස්ට් තරගාවලියෙන් එංගලන්ත ක්‍රීඩකයන් නිදහස් කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා. 

“නවසීලන්ත තරගාවලිය සහ එම තත්ත්වය මීට වඩා වෙනස්. එම තරගාවලිය අපි සැලසුම් කළේ ජනවාරි මාසයේ දී. ඒ වෙද්දී ක්‍රීඩකයන් සම්පූර්ණ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියටම ගිවිසුම් අත්සන් කරලා තිබුණේ. ඒත් මේ තරගාවලි දෙක සඳහා ඔවුන් එංගලන්ත ක්‍රිකට් ආයතනය එක්ක ගිවිසුම් ගතවෙලා ඉන්නේ.” 

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවලංගු වීමත් සමඟින් තරගාවලිය සඳහා සහභාගී වූ එංගලන්ත ක්‍රීඩකයන් වන Jos Buttler, Sam Curran, Chris Woakes, Jonny Bairstow සහ Moeen Ali මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. ඒ එංගලන්ත රජය විසින් අනුමත කළ හෝටල්වල දීයි. 

ඔවුන් එම දින 10 සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ජාතික සංචිතය සමඟින් එක්වීමට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි. 

එම ක්‍රීඩකයන් පිළිබඳව අදහස් දක්වමින් Ashley Giles පවසා සිටියේ ඔවුන් නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කළ වහාම ජාතික කණ්ඩායම සමඟින් එක්කිරීමට බලාපොරොත්තු නොවන බවයි. 

“අපි ඔවුන්ගේ යෝග්‍යතාව පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඔවුන් නිරෝධායනය අවසන් කළ වහාම කණ්ඩායමට ඇතුළත් නොකර ඔවුන්ට යෝග්‍යතාව හදාගන්න යම් කාලයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ ප්‍රධාන පුහුණුකරු Chris Silverwood ඔවුන් එක්ක සමීපව කටයුතු කරනවා. සෞඛ්‍ය අංශ එක්ක මේ ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය ගැන අපි අවධානයෙන් ඉන්නවා.”

ඉදිරි මාස කීපයක කාලය එංගලන්ත කණ්ඩායමට කාර්‍යබහුල කාලයක් වන අතර ඔවුන් ඉන්දියාව සමඟින් ටෙස්ට් තරග 5ක් සඳහා ද සහභාගී වීමට නියමිතයි. ඊට අමතරව නවසීලන්තය ටෙස්ට් තරගාවලියක් සහ බංග්ලාදේශ පාකිස්තාන සංචාරයක් ද ඔවුන්ගේ ඉදිරි තරග කාලසටහනට ඇතුළත් වනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නැවත ආරම්භ වන දිනයක් පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ. 

Times of India ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<